වෛද්‍යවරු

මේ වසරේ වෛද්‍යවරුන් 477ක් ශ්‍රී ලංකාව හැර යයි.

මේ වසරේ මුල් මාස 08 තුළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 477 කට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනාවරණය කරයි.

යෝජිත බදු නීති සංශෝධනවලට එරෙහිව වෘත්තීය කණ්ඩායම් කිහිපයක් ඊයේ (01) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් GMOA සාමාජික වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළේය.

පුහුණු ශ‍්‍රමිකයින් විදේශයෙන් පිටව යාමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බවත්, එමගින් ජාතියට විශාල අර්බුදයක් ඇතිවිය හැකි බවත් වෛද්‍ය අලූත්ගේ පෙන්වා දුන්නේය.

“ආදායම් බදු නීතිවලට යෝජිත සංශෝධන ජාතිය ආපස්සට තල්ලු කිරීමක් පමණයි. රට හැර යන වෛද්‍යවරුන් නතර කිරීම ගැන බොහෝ දෙනා කතා කරනවා. එහෙත් එවැනි තීරණයක් ගැනීමට හේතුව සොයා බැලීමට කිසිවකු සූදානම් නැත,” ඔහු පැවසීය.

සමීක්‍ෂණයක් කිරීමට හෝ ගැටලු නිවැරැදි කිරීමට බලධාරීන්ට අවශ්‍ය නැති බව සඳහන් කළ වෛද්‍ය අලුත්ගේ මහතා වෛද්‍යවරුන්ට රටින් පිටවීම අවහිර කිරීමට බලා සිටින බවද පැවසීය.

“පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා වෛද්‍යවරුන් 300කට ආසන්න පිරිසක් ලංකාවෙන් පිටවෙලා කියලා. කෙසේ වෙතත්, අපගේ දත්තවලට අනුව 2022 වසරේ මුල් මාස 08 තුළ වෛද්‍යවරුන් 477කට ආසන්න පිරිසක් රට හැර ගොස් තිබෙනවා. මෙම වෛද්‍යවරුන්ගෙන් සමහරෙක් නිවාඩු සඳහා අයදුම් කර ගොස් ඇති අතර ඇතැමුන් නිවාඩු නොසලකමින් සිටින්නට ඇති,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *