පාසල්වල මත්ද්‍රව්‍ය බෙදාහැරීම වැළැක්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර…

විශේෂයෙන්ම පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය බෙදාහැරීම වැළැක්වීම සඳහා විශේෂිත කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

01 මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරත වන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බවයි.

“මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අයට සිංගප්පූරු නීතියේ දැඩි දඬුවම් තිබෙනවා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිංගප්පූරුවේ ආරක්ෂක අංශවලට ද බලතල පැවරී ඇත. ඒ වගේම යෝජිත විශේෂ කාර්ය බළකායට සමාන නීති ඇතිකර ඒ හා සමාන බලතල ලබාදීම ගැනත් අපි බලනවා,” ඔහු පැවසීය.

මේ අතර, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) අනෙකුත් රාජකාරිවලින් ඉවත් කර මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ ක්‍රියාකාරකම් මැඬලීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට පියවර ගන්නා බව ය.

2022 මත්ද්‍රව්‍ය ආශ්‍රිත අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට පවතින දත්තවලට අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බවයි.

“කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ව්‍යාප්තියක් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සහ පාසල් බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට ද අපි බලාපොරොත්තු වෙනවා,” ඔහු පැවසීය.

මත්ද්‍රව්‍ය බෙදා හැරීම පිටුපස ජාත්‍යන්තර නාලිකා සහ පාතාල නායකයන් සිටින බව ප්‍රකාශ කළ හෙට්ටිආරච්චි කියා සිටියේ මෙම ප්‍රශ්නය විසඳීමට අපහසු වුවද හැකිතාක් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ගැනීමට රජය අදහස් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *