LK reports news sinhala

ගණිත මිනුම් සියල්ලෙන් තහවුරුවන නියත ජයග්‍රාහකයා පිළිබද හෙළිදරව්වක්

ප්‍රවීණ දේශපාලන විචාරක දර්ශන හඳුන්ගොඩ සිය සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන එන දේශපාලන විශ්ලේෂණයේදී මේ මොහොතේ පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2018 පෙබරවාරිවල ඡන්ද ලක්ෂ 50ක් තිබුණු බවත් එය ලබාගන්නේද තාජුඩීන්, ලසන්ත ඝාතන වැනි විවිධ දේශපාලනික චෝදනාවන් එල්ලව තිබියදී බවද ඔහු විශ්ලේෂණය කර පෙන්වයි.

සම්පූර්ණ ගණිතමය කථාවක් ලෙස හුවාදක්වමින් එම විශ්ලේෂණය මෙසේ දිගහැරිය හැක.

2015 ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ලබාගත් ඡන්ද සංඛ්‍යාව ආසන්න වශයෙන් ලක්ෂ 62ක් ‍ලෙසද මහින්ද රාජපක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 58ක් ලෙසද ගණනයට උපයෝගී කරගනිමු.  ජනතා විමුක්ති පෙරමුණ 2015 දී කිසිවකුට සහාය නොදැක්වුවද එහි අති බහුතරය සහයෝගය ලබාදුන්නේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙනි. ඒ අනුව මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ එම ඡන්ද ලක්ෂ 62න් ඉවත් ව සිටී. එය ගණනින් ආසන්න වශයෙන් ලක්ෂ 5 ක් ලෙස ගත හැකිය. ඒ අවසන් වරට පැවැති 2018 පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුවය. එවිට මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ එජාප පොදු සන්ධානයට ඉතිරි වනුයේ ඡන්ද ලක්ෂ 57කි. මහින්ද රාජපක්ෂ ඒ අනුව ඒ මොහොතේදීද ලක්ෂයක් වැඩිපුර ලබමින් ඉදිරියෙන් සිටී.

මේ වනවිට ආසන්නවම පැවැති මැතිවරණය පසුගිය පළාත් පාලන මැතිවරණයයි. ඒ වනවිටද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසට තිබූ චෝදනාවල වෙනසක් නොවීය. එම අප්‍රමාණ චෝදනා අහලත් ජනතාවට එපා වෙලා. කප්පරක් වැරදි තොගයක් තිබියදී මහින්ද ලක්ෂ 50ක් එම පළාත් පාලන මැතිවරණයේදී ලබාගැනීමට සමත් විය. ඒ අනුව ආසන්න ලෙස ගත්විට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසට ස්ථාවර ඡන්ද ලක්ෂ 50ක් තිබෙන බව ඉතා පැහැදිලිය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති සටනට එක්වන්නේ මෙම ස්ථාවර ඡන්ද ලක්ෂ 50ද සමගිනි.

මෙවර ජනපතිවරණයේ තීරණාත්මක සාධකය එක්සත් ජාතික පක්ෂයයි. ඒ අනුව අනුමාන ලෙස සජිත් ප්‍රේමදාස එජාපයෙන් ඉදිරිපත්වන බවට උපකල්පනය කරමින් ඉදිරි ගණනයට ගමන් කළ හැකිය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව ආසන්න අගයකට ගත් විට එය ගණනින් ලක්ෂ 36කි. සජිත් පිළ නියෝජනය කරන අය පවසන්නේ ටීඑන්ඒ, මනෝ ගනේෂන්, දිගම්බරන් වැන්නන් සිය පක්ෂය සමග අත්වැල් බැඳගන්නා බවයි. ඒ අනුව  එම සුළු ජන ඡන්ද ප්‍රතිශත ගණනය කළ විට එනම් ඔවුන්ගේ නියම ඡන්ද ප්‍රතිශතය ගණනය සඳහා යොදාගත් විට එයින් දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 5කි. රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය 2018 ගන්නා ඡන්ද සංඛ්‍යාව වැඩිම ඡන්ද ගත් විට ඡන්ද ලක්ෂයයි. (ඔවුන් පළාත් පාලන මැතිවරණයේදී ආසන්න වශයෙන් ගත් ඡන්ද සංඛ්‍යාව 92,000කි. එය ඡන්ද ලක්ෂයක් ලෙස ගණනයට යොදා ගනිමු) ඒ අනුව එජාප හෝ සජිත් පිළට ආසන්න වශයෙන් තිබෙන සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාව ඡන්ද ලක්ෂ 42කි.

ජනපතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 64ක් යැයි ගත්විට ගෝඨාභයට අවශ්‍ය වනුයේ තවත් ඡන්ද ලක්ෂ 14ක් පමණය. සජිත්ගේ අතේ ඇති ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 42කි. ඒ අනුව මදිපාඩුව ලක්ෂ 22යි. ලක්ෂ 22ක් හැදීම සජිත්ට ලේසි නැත. ඒ අර්ථයෙන් ගත්විට අමුතුවෙන් ඡන්ද ලක්ෂ 22ක් සෑදීම ඉතා අසීරුය. මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ශ්‍රීලනිපයේ 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ලක්ෂ 14 අමතක නොකර ගණනයට එක් කළ යුතුයි. මෛත්‍රී යම්කිසි ආකාරයකින් සජිත්ට සහයෝගය දුනහොත් මෛත්‍රී ගමින් ගමට ගොස් අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කළද අති බහුතරයක් ඡන්දය භාවිත කරනුයේ මහින්දට මිස එජාපයට නොවේ. ඒ ඔවුන්ට ඉතා සමීප මහින්ද රාජපක්ෂ නාමය සහ රුව මිස සජිත් ප්‍රේමදාස හෝ එජාපය නොවන නිසාය. ශ්‍රීලනිප නියෝජනයෙන් යම්කිසි ප්‍රමාණයක් ඡන්දය සජිත්ට භාවිත කරනවා යැයි අනුමාන කළහොත් ලැබිය හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 6ක් ලෙස ගණනයට එක් කළ හැකිය. එයින් සජිත්ට ඒ ආකාරයෙන් ඡන්ද ලක්ෂ 6ක් යද්දී ගෝඨාභය රාජපක්ෂට ඉතිරි ඡන්ද ලක්ෂ 8ක් එකතු වනවා. ඒ අනුවද ජයග්‍රහණය ගෝඨාභයටයි.

තීරක ඡන්ද මේ අනුව ජනපතිවරණ ජයග්‍රහණයට බලපානවා. අලුත් ඡන්ද විශාල වශයෙන් ආණ්ඩු විරෝධයට යොමු වෙනවා. අප කැමති වුවත් එකඟ නොවුණත් විකල්ප කණ්ඩායම් අලුත් කණ්ඩායම් සමග ගෝඨා සාකච්ඡාවට බඳුන් කර ආකර්ශනය කරනවා. ගෝඨා හා සමානව ආකර්ශනීය කැම්පේන් එක කරන එකම කෙනා පාඨලී චම්පික රණවක පමණයි.

මේ මොහොතට පමණයි මෙය වලංගු. අනාගතයේ සිදුවන බෙදීම්, ඉරිතැලීම්, වෙන්වීම්, එක්වීම් මෙන්ම මහින්දගේ හැසිරීමද මේ පවතින තත්ත්වය වෙනස් වීමට බොහෝ දුරට හේතු විය හැකිය.

ඒ අනුව මෙම හේතු සාධක මත මෙම විශ්ලේෂණයේ ප්‍රතිඵලය වෙනස්විය හැකි බවද දර්ශන හඳුන්ගොඩ  පෙන්වා දෙන අතර මේ මොහොතේ පවතින නියම තත්ත්වය අනුව ගෝඨාභය රාජපක්ෂ ඉදිරියෙන් සිටින බව ඔහු තහවුරු කර දක්වා සිටී.

(මෙම දේශපාලනික විශ්ලේෂණය එස්එල් වීබ්ලොග් යූ ටියුබ් නාලිකාව මගින් උපුටා ගැනුණකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *