මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය ගැසට් කිරීමට පියවර

මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය අවම වශ‍ෙයන් අක්කර 30ක් ඇතුළත් කොට ගැසට් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම කිසිදු සොයා බැලීමකින් තොරව පුරාවිද්‍යා රක්ෂිතයක් ජනතාව අතර බෙදා දුන් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ දී ඊයේ (13) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් නියෝග කළේය.

මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ මේ වන විට මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතයේ අක්කර 17ක් පමණ බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙන බවත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොටසකත් අනවසර පදිංචිකරුවන් රැඳී සිටින බවයි.

1951 වර්ෂයේදී අක්කර 72ක් ලෙස ගැසට් කරන ලද මෙම රක්ෂිතයෙන් අක්කර 11ක් කිසිදු සොයා බැලීමකින් තොරව ජයභූමි ඔප්පු ලෙස ජනතාව අතර බෙදා දී ඇත්තේ ගම්මාන පුළුල් කිරීම යටතේ බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

එමෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොටසේ නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීමට මැදිහත් වූ නිලධාරින්ට එරෙහිව පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීම පිළිබඳවත් සොයා බලන ලෙස ඇමැතිවරයා උපදෙස් දුන්නේය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *