කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රධාන මූල්‍ය ප්‍රතිසංස්කරණ පනත් තුනකට සහතිකය ලබාදීමත් සමඟ ඒවා නිල වශයෙන් නීති බවට පත්විය.
ඒ අනුව, 2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත, 2026 අංක 17 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත සහ 2026 අංක 18 දරන ත්‍රස්තවාදී මූල්‍යකරණය මැඩපැවැත්වීම පිළිබඳ සම්මුතියේ (සංශෝධන) පනත බලාත්මක වී තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 14 වැනි වගන්තිය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවෙන් අනතුරුව ජූලි 9 වැනිදා විශේෂ බහුතරයකින් සම්මත විය. එමඟින් මුදල් විශුද්ධිකරණයට එරෙහි ශ්‍රී ලංකාවේ නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කෙරේ.
නව සංශෝධන මඟින් අදාළ වැරදිවල විෂය පථය පුළුල් කිරීම, මූලික වරදක් සම්බන්ධයෙන් වරදකරුවකු බවට පත්වීමකින් තොරව නඩු කටයුතු පවත්වාගෙන යාමට ඉඩ සැලසීම, වත්කම් තහනම් කිරීම හා රාජසන්තක කිරීමේ බලතල පුළුල් කිරීම, වත්කම් කළමනාකරණය සහ බැහැර කිරීම සඳහා නව ක්‍රමවේද හඳුන්වාදීම, දඬුවම් වැඩි කිරීම මෙන්ම විමර්ශන බලතල සහ ජාත්‍යන්තර සහයෝගීතාව පුළුල් කිරීම සිදුකර තිබේ.
සංශෝධන සහිතව සම්මත වූ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත මඟින් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ ව්‍යාප්ති මූල්‍යකරණය සම්බන්ධයෙන් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම තවදුරටත් ශක්තිමත් කරයි.
එම පනත මඟින් අවදානම් මත පදනම් වූ ක්‍රියාමාර්ග සහ ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි පරීක්ෂාවන් හඳුන්වාදීම, වාර්තාකරණ ආයතනවල වගකීම් පුළුල් කිරීම සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (VASPs) මූල්‍ය ව්‍යාපාර ලෙස ඇතුළත් කිරීම සිදුකර තිබේ.
මීට අමතරව, මූල්‍ය බුද්ධි ඒකකය (FIU) ශක්තිමත් කිරීම, ගනුදෙනු අත්හිටුවීමේ නියෝගයක කාලය වැඩ කරන දින 7 සිට 14 දක්වා දීර්ඝ කිරීම, මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහිව කටයුතු කිරීම සඳහා ජාතික කමිටුවක් ස්ථාපිත කිරීම සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා යටතේ ඉලක්කගත මූල්‍ය සම්බාධක ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කිරීමද සිදුකර ඇත.
සිංහල සහ ඉංග්‍රීසි පාඨ අතර පැවති නොගැළපීම් නිවැරදි කිරීම සහ අර්ථ දැක්වීම් පැහැදිලි කිරීමද මෙම සංශෝධන මඟින් සිදුකර තිබේ.
සංශෝධන රහිතව සම්මත වූ ත්‍රස්තවාදී මූල්‍යකරණය මැඩපැවැත්වීම පිළිබඳ සම්මුතියේ (සංශෝධන) පනත මඟින් ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ එක්සත් ජාතීන්ගේ සම්මුතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කෙරේ.
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) යටතේ ශ්‍රී ලංකාව ඉදිරියේදී මුහුණදීමට නියමිත අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමටද මෙම නීතිමය ප්‍රතිසංස්කරණ සහාය වනු ඇත.
පාර්ලිමේන්තු නිවේදනයකට අනුව, මෙම ප්‍රතිසංස්කරණ මඟින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර වගකීම් ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යළි තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.


