මිහින් ලංකා දූෂණ නඩුවෙන් සජින් වාස් නිදහස් කෙරේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා රජයට අයත් මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ රුපියල් මිලියන 883කට ආසන්න මුදලක් දූෂණය කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවෙන් නිදහස් කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩුවෙන් හිටපු අමාත්‍යවරයා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

සජින් වාස් ගුණවර්ධන මහතා මිහින් ලංකා සමාගමට ගොඩබිම් හැසිරවීමේ උපකරණ මිලදී ගැනීමේදී සිංගප්පූරු සමාගමක් සමඟ නීති විරෝධී කොන්ත්‍රාත්තුවක් ඇතිකරගත් බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණි.

ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මීට පෙර මූලික විරෝධතාවක් ගොනු කර තිබුණේ නඩුවකින් නිදොස් කොට නිදහස් වූ විත්තිකරුවෙකුට එම වරද සම්බන්ධයෙන් වෙනත් අධිකරණයක චෝදනා එල්ල කළ නොහැකි බවයි.

මෙම නඩුවෙන් තම සේවාදායකයා මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබූ බව පෙන්වා දුන් ඔහු අවධාරණය කළේ තම සේවාදායකයාට මහාධිකරණය හමුවේ යළිත් වරක් වැරදි ලෙස අධිචෝදනා ගොනු කර ඇති බවයි.

ගුණවර්ධනට එරෙහිව එකම චෝදනා ගොනු කිරීමට නීතියේ ප්‍රතිපාදන නොමැති බැවින් මෙය නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අනාවරණය කළේය.

කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විත්තියේ ස්ථාවරය පවත්වා සජින් වාස් ගුණවර්ධන මහතා නඩුවෙන් නිදහස් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *