මැයි 11 සිට අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රමවේද ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

එළඹෙන 11 වන සදුදා සිට රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රමවේදයන් ඇතුළත් ගැසට් නිවේදනය මැයි 09 සහ 10 යන දින දෙක තුළදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවත්, අදාල ගැසට් නිවේදනයෙන් නිරෝධායන නීති රීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා අවශ්‍ය බලය හිමි වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා ප්‍රකාශ කරන්නේ මේ වන විට කෝවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය සැළකිය යුතු ලෙස ශ්‍රී ලංකාවේ පාලනය කර තිබෙන නමුත් මේ රෝගය මුළුමනින්ම නැවතී නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මේවන විටත් මෙම රෝගයට ඒන්නතක් සොයාගෙන නැහැ. රටක් වහගෙන ඉන්න පුළුවන්කමක් නැහැ සමාජයකට. එමගින් ජන පීවිතය වගේම ආර්ථිකය අඩාල වීමෙන් වෙනත් සෞඛ්‍ය ගැටලු උත්සන්න වෙනවා. මේ ගැන සමතුලිතව සිතා බැලුවාම අපි යම්කිසි තීරණයක් ගැනීමට අවශ්‍ය අවස්ථාවකට ඇවිල්ලා තියෙන්නේ.

නමුත් මේ සියල්ල ක්‍රමිකව සිදුවිය යුතුයි. ඒහෙම නොකළොත් අපිට නැවතත් කෝවිඩ් යුගයකට යාමට සිදුවෙනවා. මෙම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සකස් කළ මාර්ගෝපදේශය සකස් කරලා තියෙන්නේ පශ්චාත් කෝවිඩ් එක්ක අපි කොහොමද ජීවත් වෙන්නේ කියන දේ පිළිබදව. මෙය සිංහල, ඉංග්‍රීසි සහ ද්‍රවිඩ යන භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විතයි. මෙය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ තියෙනවා. බාගත කිරීමේ හැකියාව පවතිනවා. සෑම කෙනෙකුම මෙය අනිවාර්යයෙන්ම පරිශීලනය කරන්න. මෙය අපගේ තාක්ෂණික කමිටුව සමග සාකච්ඡා කර නීතිමය කටයුතු සිදුකල වහාම සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් මැයි 09 හෝ 10 දින වල මෙය ගැසට් කිරීමට නියමිතයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *