නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන් ජාවාරමක් මැඩලීම සඳහා මන්නාරම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන මුහුදු කූඩැල්ලන් 14,000කට අධික තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
ජූලි 28 වැනිදා දකුණු බාර් වෙරළ තීරයේ සහ ඒ අවට මුහුදු ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුමකදී, අවශ්‍ය බලපත්‍ර නොමැතිව මුහුදු මාර්ගයෙන් ජාවාරම් කර ගොඩබිම ඔස්සේ ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ මුහුදු කූඩැල්ලන් 14,072ක තොගයක් නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ලද බුද්ධි තොරතුරු මත උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා (SLNS Gajaba) නෞකාවේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
මෙහෙයුමේදී ඩිංගි යාත්‍රා තුනක් සහ යතුරුපැදි දෙකක්ද නාවික හමුදාව භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් වයස අවුරුදු 24ත් 46ත් අතර සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සහ අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රා සහ යතුරුපැදි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලයට භාරදී තිබේ.


