බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වෙයි : BREXIT ක්‍රියාවලියේ සම්පූර්ණ විස්තරය

ඒ අනුව යුරෝපා සංගමයේ සාමාජිකයකු ව සිට ඉන් ඉවත් වූ පළමු රට බවට බ්‍රිතාන්‍යය පත් විය.

බ්‍රිතාන්‍යයේ වත්මන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛ චරිතයක් වන අතර එම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා හෙතෙම ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළේය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට කලෙක පටන් බ්‍රිතාන්‍යයේ අදහසක් තිබු අතර එකල මෙය ප්‍රධාන වශයෙන්ම ප්‍රචලිත කළේ එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂය (United Kingdom Independence Party – UKIP) සහ තවත් අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් කිහිපයක් විසිනි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ස්වෛරීභාවයට බලපෑමක් වන බව සහ බ්‍රිතාන්‍යයට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් එරට පුරවැසියන්ට අසාධාරණයක් සිදුවන බවත් ඔවුන්ගේ මූලික තර්කය විය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමත් සමඟ නව යුගයක් උදා වන බව විඩියෝ පටයක් මුදා හරිමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීවේය.

කොන්සර්වේටිව් පක්ෂය තුළ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ මත දෙකම නියෝජනය කරන්න සිටි අතර එක් කණ්ඩායමක් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයැ යි කියා සිටිද්දී අනෙක් කණ්ඩායම ඊට විරුද්ධ විය. එවකට අගමැති වූ ඩේවිඩ් කැමරන් මෙම ප්‍රශ්නය පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කළ අතර එය 2016 ජූනි 23 වන දා පවත්වනු ලැබීය.

2016 ජූනි 23 බ්‍රෙක්සිට් පිළිබඳ ජනමත විචාරණය පවත්වනු ලැබූ අතර මෙහි දී 52%ක් වන බ්‍රිතාන්‍යය ජනයා තම රට යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයැයි කියා සිටියේය. ඊට පසු දින ඩේවිඩ් කැමරන් අගමැති ධුරයෙන් ඉල්ලා අස් වු අතර ඔහු කියා සිටියේ තමන් බ්‍රෙක්සිට්වලට විපක්ෂ වූ හෙයින්, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය නව නායකයකු යටතේ පැවැත්විය යුතු බව යි. ඒ අනුව නව අගමැතිනිය ලෙස තෙරේසා මේ පත්වූවාය. ඒ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරගයෙන් ජයගැනීමට ඇය සමත් වීමත් සමගය.

මේ වනවිට බ්‍රිතාන්‍ය පුරා මෙම ක්‍රියාවලියට පක්ෂව සහ විපක්ෂව විරෝධතා පැවැත්වෙන අතර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර යුරෝපා සංගමයට අයත් ආයතනවලින් එක්සත් රාජධානියේ ධජය ඉවත් කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබේ.

ඊයේ රාත්‍රියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුවත් එය දීර්ඝ ක්‍රියාවලියකි. ඒ අනුව එක්සත් රාජධානිය ‘සංක්‍රාන්ති කාලයකට’ එළැඹේ. බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වුවද එය සිදුවන්නේ සෙමිනි.

ඒ අනුව ක්‍රියාවලිය අවසන් වන තෙක් යුරෝපා සංගමයේ ඇතැම් නීති බ්‍රිතාන්‍යයට අදාළ වේ. විශේෂයෙන්ම යුරෝපා සංගමයේ රටවල් අතර නිදහසේ ගමන් කිරීමට එම රටවල වැසියන්ට තිබූ අවසරය තවත් කලක් ක්‍රියාත්මක වේ. එම අවසරය බ්‍රිතාන්‍යයට අහිමි වන්නේ එළැඹෙන දෙසැම්බර් මාසයේදීය.

එම කාලයේදී යුරෝපා සංගමය සමඟ ස්ථීරසාර (නිත්‍ය) නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට එක්සත් රාජධානියට අවස්ථාව උදා වේ.

බ්‍රිතාන්‍ය මේ ආකාරයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වුවද මෙම ක්‍රියාවලියේ ඉදිරිය සහ යුරෝපා සංගමයේ මෙන්ම විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ අනාගතය අවිනිශ්චිත යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ සහ විශ්ලේෂකයෝ මත පළ කරති.
මෙම වෙන්වීමත් සමඟ බ්‍රිතාන්‍ය සාමාජික රටවල් 28කින් සමන්විත යුරෝපා සංගමයෙන් ඉවත්ව යන පළමු රට බවට පත්වෙයි. 1973 වසරෙන් පසු එවැන්නක් සිදුවන්නේ පළමු වරටය.

යුරෝපා සංගමයෙහි නීතිය අනුව යම් රටක් එයින් ඉවත් වන්නේ නම් ලිස්බන් ගිවිසුමෙහි 50 වන වගන්තිය ක්‍රියාත්මක කළ යුතු වනවා. ඉන්පසු එම රට සහ යුරෝපා සංගමය අතර ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතර, වෙන් වීම පිළිබඳ එකඟතා කරා එළඹීම අපේක්ෂා කෙරෙනවා. මේ සඳහා, 50 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමෙන් අවුරුදු දෙකක කාලයක් නියම කර තිබෙනවා.

තෙරේසා මේ තර්ක කර තිබුණේ, ජනමත විචාරණයෙන් බ්‍රෙක්සිට් සඳහා කැමැත්ත පළ කර තිබුණ හෙයින් 50 වන වගන්තිය ක්‍රියාවට නැගීමට පාර්ලිමේන්තු අනුමැතිය අනවශ්‍ය බව යි. එහෙත්, එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය එම මතය ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් ලබා දෙනු ලැබීය.

2017 ජනවාරි මස බ්‍රෙක්සිට් ක්‍රියාත්මක වූ පසු යුරෝපා සංගමය සමග ඒකාබද්ධ වෙළෙඳපොළ හෝ තීරුබදු එකමුතුව පවත්වා නොගන්නා බව තෙරේසා මේ කියා සිටියාය.

2017 මාර්තු 29 ලිස්බන් ගිවිසුමේ 50 වන වගන්තිය ක්‍රියාත්මක කරනු ලැබීය. 2017 අප්‍රේල් මාසයේදී හදිසි මහමැතිවරණයක් කැඳවීමට අගමැතිනි තෙරේසා මේ තීරණය කළෙ අතර එම තීරණයට කම්කරු පක්ෂයේ සහාය ද ලැබුණි. තෙරේසා මේ බලාපොරොත්තු වුණේ බ්‍රෙක්සිට් සඳහා තමන්ට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය ලබාගැනීම වුවද 2017 ජූනි 8 බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ දී කම්කරු පක්ෂය බලාපොරොත්තු නොවූ තරම් හොඳ ප්‍රතිඵලයක් පෙන්නුම් කළේය. කොන්සර්වේටිව් පක්ෂය පළමු ස්ථානයට පැමිණි නමුත්, ඔවුන් පාර්ලිමේන්තු බහුතරය අහිමි කරගත් අතර රජයක් පිහිටුවීම සඳහා උතුරු අයර්ලන්තයේ ඩිමොක්‍රටික් සහ යූනියනිස්ට් පක්ෂය සමග එකඟතාවක් ඇති කරගැනීමට තෙරේසා මේට සිදුවිය.

2018 ජූලි කැබිනට් මණ්ඩලය විසින් තෙරේසා මේගේ බ්‍රෙක්සිට් යෝජනාවලිය අනුමත කළ අතර මෙම යෝජනා අනුව භාණ්ඩ සඳහා එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ කලාපයක් ද යෝජනා විය. කෙසේ වෙතත්, විදේශ ලේකම් බොරිස් ජොන්සන් සහ බ්‍රෙක්සිට් ලේකම් ඩේවිඩ් ඩේවිස් මෙයින් පසු සිය ධුරවලින් ඉල්ලා අස් විය.

2018 නොවැම්බර් බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර බ්‍රෙක්සිට් පිළිබඳ එකඟතා ගිවිසුමක් ඇති කරගත් බව නිවේදනය කෙරුණු අතර නැවතත්, නව බ්‍රෙක්සිට් ලේකම් ඩොමිනික් රාබ් සහ විශ්‍රාම වැටුප් ලේකම් එස්තර් මැක්වේ සිය තනතුරුවලින් ඉල්ලා අස් විය.

2018 දෙසැම්බර් 10 බ්‍රෙක්සිට් යෝජනා ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත වූ ඡන්ද විමසීමක් කල් දැමීමට තෙරේසා මේ ක්‍රියා කළාය.

2018 දෙසැම්බර් 12 කොන්සර්වේටිව් පක්ෂය තුළ තෙරේසා මේගේ නායකත්වයට එරෙහිව මතු වූ විශ්වාසභංග යෝජනාවක් පරාජය කෙරිණි. කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර පවත්වන ලද මෙම යෝජනාව පිළිබඳ ඡන්දයේ දී මන්ත්‍රීන් 200ක් ඇය පිළිබඳ විශ්වාසය පළ කළහ. මේ අතර 117 දෙනකු ඇයට එරෙහිව ඡන්දය පළ කර තිබුණි.

2019 ජනවාරි 15 බ්‍රෙක්සිට් එකඟතා ගිවිසුම පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී ඡන්ද 432ට 202ක් ලෙස පරාජය විය. මෙසේ ඡන්ද 230කින් යෝජනාවක් පරාජය වීම ඉතිහාසයේ බ්‍රිතාන්‍ය රජයක් ලද දරුණුම පරාජය ලෙස වාර්තා වූ අතර විපක්ෂ නායක ජෙරමි කෝර්බින්, තෙරේසා මේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ පිළිබඳ ඡන්ද විමසීම ජනවාරි 16 වැනි දා පවත්වන ලද අතර එහි දී එම යෝජනාව පරාජය විය. මන්ත්‍රීන් 325ක් තෙරේසා මේ පිළිබඳ විශ්වාසය පළ කළ අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූයේ මන්ත්‍රීන් 306ක් පමණි.

2019 මාර්තු බ්‍රෙක්සිට් පිළිබඳ යුරෝපා සංගමය සමග වූ එකඟතා ගිවිසුම තවත් දෙවරක් පාර්ලිමේන්තුවේ දී පරාජය විය. මේ අනුව බ්‍රෙක්සිට් සඳහා ජූනි 30 තෙක් කල් ඉල්ලා ගැනීමට රජයට සිදුවු අතර පසුව ඔක්තෝබර් 31 තෙක් කාලය දිගු කරන්නට යුරෝපා සංගමය අනුමැතිය ලබාදුන්නේය.

2019 මැයි 24 තමන් අගමැති සහ කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය යන තනතුරු දෙකෙන්ම ළඟදීම ඉල්ලා අස් වන බව තෙරේසා මේ කියා සිටියාය. 2019 ජූලි 23

කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට බොරිස් ජොන්සන් පත් වු අතර ඊළඟ දිනයේ ඔහු බ්‍රිතාන්‍ය අගමැති ලෙස පත් විය.

2019 සැප්තැම්බර් තම බ්‍රෙක්සිට් යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය නොලැබෙන බව අවබෝධ කරගත් ජොන්සන් පාර්ලිමේන්තුව කල් තබන ලෙස රැජිණට දන්වා සිටි අතර පසුව එක්සත් රාජධානි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කළේය.

2019 ඔක්තෝබර් ජොන්සන් තම රජය හා යුරෝපා සංගමය අතර බ්‍රෙක්සිට් පිළිබඳ නව එකඟතා ගිවිසුම පිළිබඳ නිවේදනය කෙරිණි. නමුත්, බ්‍රෙක්සිට් සඳහා ජනවාරි 31 තෙක් දිගුවක් ලබාගන්නට ජොන්සන්ට සිදුවිය. මේ අතර දෙසැම්බර් 12 වන දා නව මහ මැතිවරණයක් සඳහා දින නියම කෙරුණි.

2019 දෙසැම්බර් 12 කොන්සර්වේටිව් පක්ෂය මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගත් අතර 2020 ජනවාරි 30 බ්‍රෙක්සිට් ගිවිසුම යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *