බ්‍රිතාන්‍යයේ සිරවී සිට දිවයිනට ආ ශ්‍රී ලාංකිකයෝ මෙරට පහසුකම් මදි කියා කෝප වෙයි

කොවිඩ්–19 වසංගත ව්‍යාප්තිය මත විවිධ රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ ක්‍රියාවලිය යටතේ එක්සත් රාජධානියේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරී තිබේ.

ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ඔවුන් අධීක්ෂණය කළ හමුදා සාමාජිකයන් සමග උණුසුම් ලෙස වචන හුවමාරු කරගෙන ඇති මෙම පිරිස පවසා ඇත්තේ තමන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් ප්‍රමාණවත් නොවන බවයි.

මෙම පිරිස අතුරින් පෞද්ගලිකව වියදම් දැරීමට කැමැත්ත පළ කළ පුද්ගලයන් දෛනිකව රු. 7500 බැගින් ගෙවීමේ පදනම මත හෝටල් වල පිහිටුවන ලද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ අතර සෙසු පිරිස් අනෙකුත් නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කරන ලදී.

මෙම පිරිස 208 දෙනකුගෙන් සමන්විත වූ අතර ඒ අතරින් එක් තරුණියක් කොවිඩ්-19 රෝග ලක්ෂණ ප්‍රදර්ශනය කළ බැවින් වහාම ඇයව මීගමුව මහ රෝහලට යොමු කෙරුණු බවත් අනතුරුව ඇය පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ බවත් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *