පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අවි පුහුණුවට ගිය වෑන් රථය අක්කරේපත්තුවෙන් සොයාගැනේ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පවත්වාගෙන යනු ලැබූ අවි පුහුණු කඳවුරට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් ඩොල්ෆින් වර්ගයේ වෑන් රථය පොලීසිය විසින් ඊයේ (22) සොයාගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී අත්අඩංගුවට පත්වූ, මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මුහම්මදු හනිෆා මුහම්මදු අක්‍රම් විසින් මෙම වෑන් රථය හදුනාගෙන තිබේ. එම රථය නුවරඑළිය පුහුණු කඳවුරට පුද්ගලයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් බවටයි පැවසෙන්නේ.

මෙම වෑන් රථය නුවර ප්‍රදේශයේ වාහන අලෙවිකිරීමේ ස්ථානයක මාස තුනක කාලයක් තබා ඇති අතර එය අලෙවි නොවීම හේතුවෙන් ඉකුත් සැප්තැම්බර් මස සමන්තුරේ ප්‍රදේශයේ වාහන අලෙවිකිරීමේ ස්ථානයක් වෙත ගෙනැවිත් දමා තිබුණු අතර එහිදී අක්කරේපත්තුව පොලිස් වසමේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් එය මිලදී ගෙන තිබේ.

මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් ඊයේ (22) එම රථය සොයාගෙන කාත්තන්කුඩි පොලීසියට භාරදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *