පාස්කු ප්‍රහාරයට අදාළ පෙත්සම් 12ක් විභාගයට ගැනීම මැයි මාසයේදී

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පාර්ශව වලට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් මැයි මස 12, 13 සහ 14 යන දිනවලදී විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කරනු ලැබුවා.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඉදිරියටත් පෙනී නොසිටින බවයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන්නේ. ඒ අනුව ඔවුන් දෙදෙනා වෙනුවෙන් පුද්ගලික නීතිඥවරුන් දෙදෙනකු අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

අදාළ පෙත්සම්වලට එරෙහි විරෝධතා ලබන මාර්තු මස 6 වෙනිදා වන විට ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පාර්ශ්වයන්ට නියෝග කරනු ලැබුවා. ඊට අදාළ ප්‍රතිවිරෝධතා මාර්තු මස 27 වනදා ගොනු කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කළේ. මෙම පෙත්සම් අද දිනයේ කැඳවනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *