018/2019 කාලසීමාවේදී බන්ධනාගාරගතව සිටි TMVP නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ මහතා හමුවීමට තමන් ගිය බවත්, එය කිසිසේත් රහසක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණයට අද (20) කරුණු ඉදිරිපත් වූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතාගේ නමද සඳහන්ව තිබීමට ප්‍රතිචාර සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම කරුණු අනාවරණය කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අදාළ පරික්ෂණවල ප්‍රගතිය අධිකරණය ඉදිරිපත් කරමින් කියා සිටියේ, පාස්කු ප්‍රහාරයෙන් පසු මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලයාන් හමුව ඇති බවය.
ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂතා මහතා පවසන්නේ, පිල්ලෙයාන් මහතා එකල තම දේශපාලන සන්ධානයේ පාර්ශවකරුවෙකු ලෙස 2015 ජනාධිපතිවරණයට සහ 2018 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකු බවය.
එමෙන්ම ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා තබාගෙන නොමැති බවද සඳහන් කරයි.
ඒ හේතුවෙන් වත්මන් රජය මේ දියත් කරන මාධ්‍ය සංදර්ශන හරහා ඇත්තටම ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ කාටද? යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටී.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය විවිධ අවස්ථාවලදී පරස්පර ප්‍රකාශ සිදුකර ඇති බවද පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා, මෙම ඛේදවාචකය දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කරගැනීම සඳහා ආයුධයක් කරගන්නේ නම්, එයින් සැබෑ ලෙසම අගතියට පත්වන්නේ මෙතෙක් යුක්තිය බලාපොරොත්තුවෙන් සිටින වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් බවද පෙන්වා දෙයි.
කෙසේ නමුත් තමන් ඇතුළු කණ්ඩායම ඕනෑම සාධාරණ පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවත්, පවතින සැක සංකා විනිවිදභාවයකින් යුතුව දුරුකර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.
රජය විසින් සිදුකළ යුත්තේ දේශපාලන නාට්‍ය සහ පුවත් සිරස්තල මැවීම වෙනුවට, රටේ ජනතාවට පිළිගත හැකි ප්‍රතිඵලයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම බවද නාමල් රාජපක්ෂ මහතා සිය ‘X’ ගිණුමෙන් වැඩිදුරටත් දක්වා තිබේ.


