LK reports news sinhala

නීතිවිරෝධී ඇමතුම් මධ්‍යස්ථාන 3ක් වටලා චීන ජාතිකයන් ඇතුළු 212ක් අත්අඩංගුවට

ජාත්‍යන්තර අන්තර්ජාල වංචා ජාලයකට සම්බන්ධ බවට සැක කෙරෙන නීතිවිරෝධී ඇමතුම් මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කර පාකිස්තාන බලධාරීන් සිදු කළ වැටලීම්වලදී චීන ජාතිකයන් ඇතුළු පුද්ගලයන් 212 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පාකිස්තාන ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය විසින් ඉස්ලාමාබාද්හි E-11 සහ G-10 ප්‍රදේශවල පිහිටි මෙම ඇමතුම් මධ්‍යස්ථාන ඉලක්ක කර එකවර මෙහෙයුම් සිදු කර ඇත.

බලධාරීන් උපුටා දක්වමින් පළ වූ වාර්තාවලට අනුව, මෙම මධ්‍යස්ථාන හරහා පාකිස්තානයේ මෙන්ම විදේශයන්හි පුද්ගලයන් වංචාවලට හසු කර ගැනීම සිදු කර ඇති බවට සැක කෙරේ.

ගූගල් සමාගමේ නියෝජිතයන් ලෙස පෙනී සිටීම, ව්‍යාජ අන්තර්ජාල කාර්යයන් ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම සහ ප්‍රේම සම්බන්ධතා මුවාවෙන් සිදු කරන වංචා ඇතුළු ක්‍රම භාවිත කර ඇති බවටද විමර්ශකයන් සැක පළ කර තිබේ.

මෙහෙයුම් අතරතුර ජංගම දුරකථන 306ක්, පරිගණක සහ CPU 383ක් මෙන්ම මොනිටර් සහ ලැප්ටොප් පරිගණක 299ක්ද විමර්ශකයන් විසින් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තාන සහ චීන ජාතික පිරිමි සහ කාන්තාවන් සිටින බව වාර්තා වන නමුත්, අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සංඛ්‍යාව පිළිබඳව බලධාරීන් මෙතෙක් නිල වශයෙන් හෙළි කර නොමැත.

මෙම සැක කෙරෙන වංචා ජාලය ඉන්දියාවේ සහ බ්‍රසීලයේ ක්‍රියාත්මක වන මෙහෙයුම් සමඟ සම්බන්ධතා පවත්වන්නේද යන්න පිළිබඳවද විමර්ශකයන් පරීක්ෂණ සිදු කරමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක්ද ගොනු කර ඇති අතර, වංචා ජාලයේ මූල්‍ය සම්බන්ධතා සහ අත්අඩංගුවට ගත් එක් එක් පුද්ගලයාගේ භූමිකාව පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *