පාසල් යමින් සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි දැරියක් ලන්ඩනයේදී මරුට

උතුරු ලන්ඩනයේදී පාසල් යමින් සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි දැරියක් මෝටර් රථයක ගැටීමෙන් මියගොස් තිබේ.

බ්‍රිතාන්‍ය පොලිසිය විසින් මෙලීසා ප්‍රේමරත්න ලෙස හඳුනාගෙන ඇති මෙම දැරිය ලන්ඩනයේ Highgate School හි 12 වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවකි.

ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය සඳහන් කළේ සැප්තැම්බර් 24 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 8.13ට පමණ Highgate හි North Road ප්‍රදේශයේ පදිකයෙකු සහ මෝටර් රථයක් අතර සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇති බවයි.

හදිසි සේවා එම ස්ථානයට පැමිණ ඇති අතර, මෙලීසා එම ස්ථානයේදීම මියගොස් ඇති බව තහවුරු කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෙලීසා පාසල වෙත යමින් සිටි බව Highgate School විසින්ද තහවුරු කර තිබේ.

මෝටර් රථය ධාවනය කළ 68 හැවිරිදි පුද්ගලයා නොසැලකිලිමත් ලෙස රිය පැදවීමෙන් මරණයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ. පසුව පොලිස් විමර්ශන අඛණ්ඩව සිදුකරන අතරතුර ඔහු ඇප මත මුදාහැර ඇත.

අනතුරට සම්බන්ධ මෝටර් රථය පෞද්ගලික කුලී රථ සේවා සමාගමක් වන Addison Lee සමාගමට අයත් එකක් බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධ පොලිස් විමර්ශනයට පූර්ණ සහය ලබාදෙන බව එම සමාගම පවසා තිබේ.

මෙලීසාට ශෝකය පළ කරමින් ඇගේ පවුලේ සාමාජිකයන් ඇය “අපගේ ජීවිතවල ආලෝකයක්” ලෙස හඳුන්වා ඇති අතර, ඇගේ කරුණාව, උණුසුම් හදවත සහ ජීවය පිරුණු ස්වභාවය සිහිපත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ සිටි සාක්ෂිකරුවන්ට ඉදිරිපත් වන ලෙස පොලිසිය ඉල්ලා සිටී. එමෙන්ම අනතුර සම්බන්ධ ඩෑෂ් කැම් දර්ශන, CCTV දර්ශන හෝ ජංගම දුරකථන වීඩියෝ දර්ශන ඇති පුද්ගලයන්ගෙන් ඒවා පොලිසිය වෙත ලබාදෙන ලෙසද ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *