ශ්‍රී ලංකා නිර්මාණකරුවන් සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් විවාහ උත්සව, පෞද්ගලික සාද සහ DJ සංගීත වැඩසටහන් සඳහා අදාළ සංගීත බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාව තාවකාලිකව අත්හිටුවා තිබේ.
සාමාජිකයන් විසින් ඉදිරියේදී ගනු ලබන තීරණයක් දක්වා මෙම තාවකාලික අත්හිටුවීම ක්‍රියාත්මක වන බව සංගමය සඳහන් කළේය.
විවාහ උත්සව සහ උපන්දින සාද ඇතුළු පෞද්ගලික උත්සව සඳහා සංගීත බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුද යන්න පිළිබඳ අවසන් තීරණය නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මහා සභා රැස්වීමේදී ගන්නා බවද එම සංගමය පැවසීය.
බලපත්‍ර ක්රමයේ ස්ථිර වෙනසක් සිදු කිරීමට නම් එහි සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය බවත්, අධ්යක්ෂ මණ්ඩලයට ස්වාධීනව එවැනි තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති බවත් සංගමය පැහැදිලි කළේය.
මේ අතර, උත්සවවලදී සංගීතය වාදනය කරන DJවරුන් සඳහා බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවද ජාත්‍යන්තර සංගීත හිමිකම් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් තාවකාලිකව අත්හිටුවා තිබේ.
සංගමය අවධාරණය කළේ තම සංගමයේ බලපත්‍ර ක්‍රමය අදාළ වන්නේ ස්ථාන සහ උත්සවවලදී සංගීතය වාණිජමය අරමුණු සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් පමණක් බවයි.
නිවාස තුළ පවත්වන පෞද්ගලික උත්සව සඳහා මෙම බලපත්‍ර අවශ්‍යතාව අදාළ නොවන බවද සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.


