රාජ්‍ය ආයතනවල මානව සම්පත් කළමනාකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ‘GovHR’ නව ඩිජිටල් පද්ධතිය හඳුන්වා දී තිබේ.
මෙම පද්ධතිය නිල වශයෙන් සැප්තැම්බර් 24 වැනිදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී (SLIDA) එළිදක්වා ඇත.
රාජ්‍ය සේවකයන්ගේ තොරතුරු එක් ස්ථානයක මධ්‍යගතව කළමනාකරණය කිරීම මෙම පද්ධතියේ ප්‍රධාන අරමුණක් වන අතර, බඳවා ගැනීම්, උසස්වීම්, ස්ථාන මාරු, පුහුණු කටයුතු, පැමිණිලි හා ගැටලු, කාර්ය සාධන ඇගයීම් සහ විශ්‍රාම ගැන්වීම් ඇතුළු ප්‍රධාන මානව සම්පත් ක්‍රියාවලීන් ද ඒ හරහා කළමනාකරණය කිරීමට හැකියාව ලැබේ.
කඩදාසි මත පදනම් වූ ලේඛන පවත්වාගෙන යාම හේතුවෙන් ඇතිවන ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතා අවම කරමින් රාජ්‍ය සේවයේ විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ වගවීම ඉහළ නැංවීමට මෙම පද්ධතිය මගින් අපේක්ෂා කෙරේ.
පද්ධතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ, බඳවා ගැනීම් සහ විශ්‍රාම ගැන්වීම් සඳහා අවශ්‍ය ලේඛන ඇතුළු භෞතික ලිපිගොනු පවත්වාගෙන යාමේදී දිගු කලක් තිස්සේ පවතින ගැටලු විසඳීමට මෙම පද්ධතිය උපකාරී වන බවයි.
ශ්‍රී ලංකාවේ මේ වන විට රාජ්‍ය සේවකයන් ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම වසර තුළ තවත් රාජ්‍ය සේවකයන් 120,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති බවද පැවසීය.


