එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායකයෙකු ලෙස සැලකෙන රසායියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ 39 වැනි ගුණ සැමරුම වෙනුවෙන් සෙනසුරාදා යාපනය නල්ලූර් ප්රදේශයේ පැවති අවස්ථාවකට සිය ගණනක් දෙනා එක්ව තිබේ.
තිලීපන් 1987 වසරේ ඉන්දු-ලංකා ගිවිසුමෙන් අනතුරුව ඉන්දීය රජය වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් මාලාවක් මුල් කරගනිමින් නල්ලූර්හි උපවාසයක් ආරම්භ කළේය.
1987 සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ කළ එම උපවාසයේදී ආහාර සහ ජලය ප්රතික්ෂේප කළ තිලීපන් සැප්තැම්බර් 26 වැනිදා මිය ගියේය.
ඔහුගේ උපවාසය ආරම්භ කළ දිනය වන සැප්තැම්බර් 15 වැනිදා සිට යාපනයේ පැවති සැමරුම් වැඩසටහන් මාලාවක අවසන් අවස්ථාව ලෙස මෙම ගුණ සැමරුම පැවැත්වී තිබේ.
එහිදී සහභාගි වූ පිරිස් නල්ලූර්හි පිහිටි තිලීපන් ස්මාරකයට මල් තබා උපහාර දැක්වූහ. මෙම මාසයේ මුල් භාගයේදී එම ස්ථානයේ තිලීපන්ගේ ලෝකඩ ප්රතිමාවක්ද ස්ථාපනය කර තිබේ.
තිලීපන්ගේ ගුණ සැමරුම් කාලසීමාව තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල තවත් ප්රදේශ කිහිපයකද සැමරුම් වැඩසටහන් පවත්වා තිබේ.



