LK reports news sinhala

නව ආණ්ඩුවක්ද? පාර්ලිමේන්තුව විසුරුවයිද? අගමැති කවුද? තීරණය අද

කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අගමැතිවරයා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන තම පාර්ශ්වය මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් කතානායකවරයා, පක්ෂ නායකයින් සමඟ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟද සාකච්ඡා කොට තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බවයි.

මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක්කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ඇතුළු සෙසු පක්ෂ නායකයන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද කථානායකවරයා සමඟ සාකච්ඡා කළ බව කථානායක මාධ්‍ය අංශය පවසයි.  ඒ අනුව, බොහෝ දෙනාගේ මතය වූයේ රටේ පාලනය පිළිබඳව පැහැදිළි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් එයට අනුව කටයුතු කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා සඳහන් කර ඇත.

ඒ අනුව පහත සඳහන් විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිට අවධානය යොමුව ඇති බව පැවසේ.

  1.     ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි 2020 මාර්තු මස 01  දින පාර්ලිමේන්තුව විසිරුවාහැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවකාශය සැළසීම.
  2.     මන්ත්‍රීවරු විසින් ස්වෙච්ඡාවෙන් 3/2 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවාහැර වහාම මහ මැතිවරණයකට යොමු වීම.
  3.     අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනාධිපතිවරයාට මහ මැතිවරණයකට එළැඹෙන තුරු භාරකාර කැබිනට්මණ්ඩලයක් පත් කිරීමට ඉඩ අවකාශ සැළසීම.

සාකච්ඡාවන්හිදී අවධානය යොමු කරන ලද ඉහත ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සතිය තුළ පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.

ඉහත කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා ස්වකීය පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර කථානායකවරයා දැනුම්වත් කළ වහාම අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කථානායකවරයා විසින් කැඳවනු ඇතැයිද වාර්තා වේ. මේ අතර අද(20) දිනයේදී සිය පක්ෂයේ ස්ථාවරත්වය දැනුම්දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *