තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ප්‍රබල පාකිස්තානයට දරුණු පරාජයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති පළමු 20-20 තරගයෙන් ලකුණු 64ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 165ක් ලබාගැනීමට සමත් විය. පන්දු 38කදී වේගවත් ලකුණු 58ක් ලබාගැනීමට ධනුෂ්ක ගුණතිලක සමත්වූ අතර භානුක රාජපක්ෂ හා අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ඉනිම්වල නිරත වෙමින් ලකුණු 32ක් හා 33ක් රැස්කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 17 පන්දු 4කදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 101ක් පමණි. නුවන් ප්‍රදීප හා ඉසුරු උදාන කඩුලු 3 බැගින් දවාගත්හ.
ආරක්ෂක තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් තරගාවලියට එක්නොවූ අතර තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දසුන් ශානකය. ලොව ශ්‍රේණිගත කිරීම්වල ඉහළම පසුවන පාකිස්තානය පරාජය කිරීමට මෙම තරුණ කණ්ඩායම සමත්වූ අතර එය පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ දැවැන්‍තම 20-20 ජයග්‍රහණය ලෙසද වාර්තා පොත් අතරට එක්විය.
තරගයේ වීරයා සම්මානය ධනුෂ්ක ගුණතිලකට හිමිවිය. දෙරට අතර දෙවැනි තරගය සදුදා (7) පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *