උතුරු මුහුදු තීරයේ ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී අනතුරට පත් ධීවර යාත්රාවක සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු ආරක්ෂිතව බේරා ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.
05 රාත්රියේ මෙම අනතුර සිදුව ඇති අතර, ඒ අනුව නාවික හමුදාව වහාම මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව ධීවරයින් 11 දෙනා ඊයේ(06) ඩෙල්ෆ්ට් දූපතට ආරක්ෂිතව රැගෙන ඒමට නාවික හමුදා නිලධාරීන් සමත්ව ඇත. ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින බවත්, ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බවත් නාවික හමුදාව සඳහන් කළේය.
මේ අතර, රළු මුහුදු තත්ත්වය හේතුවෙන් වෙරළට ගසාගෙන පැමිණි අදාළ ඉන්දීය ධීවර යාත්රාව නාවික හමුදා නිලධාරීන් විසින් මයිලිඩි ධීවර වරාය වෙත ඇදගෙන යමින් පවතී.
බේරාගත් ධීවරයින් සම්බන්ධ ඉදිරි කටයුතු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව සිදුකරන බව ශ්රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.


