ඩෙංගු මර්දනයට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට මැලතියන් ලීටර් 500ක්

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙළට සහාය වීමක් ලෙස ඉන්දියාව විසින් ටෙක්නිකල් මැලතියන් ලීටර් 500ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

මෙම පරිත්‍යාගය ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුව, ඉන්දීය සමාගමක් වන UPL Limited විසින් සපයන ලද මෙම මැලතියන් තොගය ශ්‍රී ලංකාව කළ ඉල්ලීමෙන් සති දෙකක් ඇතුළත කොළඹට ළඟා වී තිබේ. එය අර්බුදකාරී අවස්ථාවලදී ඉන්දියාව කඩිනමින් ප්‍රතිචාර දක්වන රටක් ලෙස ඉටුකරන කාර්යභාරයද පෙන්නුම් කරන බව එම කාර්යාලය සඳහන් කළේය.

2026 වසරේදී ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 86,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, බස්නාහිර පළාත ඒ අතරින් දැඩි ලෙස බලපෑමට ලක්වූ ප්‍රදේශයක් බව සඳහන් වේ.

රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකරන මහා පරිමාණ දුම් ගැසීමේ සහ කෘමිනාශක ඉසීමේ මෙහෙයුම් සඳහා මෙම මැලතියන් තොගය භාවිත කිරීමට නියමිතය.

පරිත්‍යාගය භාරදීමේ අවස්ථාවේදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා, ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා අනුව රටට අඛණ්ඩව සහාය ලබාදීමට ඉන්දියාවේ ඇති කැපවීම යළි තහවුරු කළේය.

මෙම සැපයුම සිදුකිරීම සඳහා සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයටද මහ කොමසාරිස්වරයා සිය ප්‍රශංසාව පළ කළේය.

රටවල් දෙක අතර පවතින සමීප සහ ජනතා කේන්ද්‍රීය හවුල්කාරීත්වයේ තවත් නිදසුනක් ලෙස මෙම වැඩපිළිවෙළ හැඳින්විය හැකි අතර, එය ඉන්දියාවේ “අසල්වැසියා පළමුව” ප්‍රතිපත්තියට අඛණ්ඩව ඇති කැපවීමද පිළිබිඹු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *