ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිසක හැඩයෙන් නිපදවා ඇති මාරාන්තික විය හැකි එක්ස්ටසි පෙති සම්බන්ධයෙන් නෙදර්ලන්ත බලධාරීන් “රතු අනතුරු ඇඟවීමක්” නිකුත් කර තිබේ.
ට්රිම්බොස් ආයතනය සඳහන් කළේ අගෝස්තු මාසයේදී පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ පෙති කිහිපයක PMMA නමැති ද්‍රව්‍යය “ඉතා ඉහළ” මට්ටමකින් අඩංගු බව අනාවරණය වී ඇති බවයි.
MDMA වලට සමාන මෙම ද්‍රව්‍යය ශරීරයේ භයානක ලෙස අධික උෂ්ණත්වයක් ඇති කිරීමට හේතු විය හැකි අතර, ඇතැම් අවස්ථාවල මරණයට පවා හේතු විය හැකි බව එම ආයතනය පවසයි.
“කිසිදු තත්ත්වයක් යටතේ මෙම පෙත්ත භාවිත නොකරන්න,” යනුවෙන් ට්රිම්බොස් ආයතනය අනතුරු අඟවා තිබේ.
මෙම පෙතිවල එක් පසක ට්‍රම්ප්ගේ මුහුණේ රුව සටහන් කර ඇති අතර, අනෙක් පස “Trump” සහ “NL” යන සලකුණු මුද්‍රණය කර තිබේ.
කෙසේ වෙතත්, මෙම පෙති භාවිත කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු මරණයක් හෝ බරපතළ රෝගී තත්ත්වයක් වාර්තා වී නොමැති බව එම ආයතනය සඳහන් කරයි.


