LK reports news sinhala

ජනපතිවරණ මත විමසුම් මුවාවෙන් පෞද්ගලික දත්ත අරගෙන – තොරතුරු තාක්ෂණ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ජනාධිපතිවරණ සමීක්ෂණ මුවාවෙන් ඡන්ද දායකයින්ගේ පෞද්ගලික දත්ත රැස්කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපතිවරණ සමීක්ෂණ යැයි පවසමින් හඳුනා නොගත් පාර්ශව කිහිපයක් විසින් වෙබ් අඩවි කිහිපයක් නිර්මාණය කොට එම වෙබ් අඩවි වෙත සමාජ ජාල මාධ්‍ය අඩවි වල සිටින පරිශීලකයන් ගෙන්වාගෙන ඔවුන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරගැනීම සඳහා ජාතික හැදුනුම්පත් අංකය ලබාගැනීමක් සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට www.votesl.com යන වෙබ් ලිපිනය යටතේ පවතින මෙලෙස ඡන්ද දායකයින්ගේ  ජාතික හැදුනුම්පත් අංකය වැනි ඉතාමත් පෞද්ගලික දත්ත එක්රැස් කිරීම් සිදුකරනා වෙබ් අඩවියක් නිරීක්ෂණය කිරීමට හැකිවූ අතර මෙම වෙබ් අඩවිය සම්බන්ධ වගකිවයුතු පාර්ශවයක් පිළිබදව හෝ එම සමීක්ෂණය සිදුකරන පාර්ශවය සම්බන්ධ කරගැනීමකට අදාළ කිසිදු විස්තරයක් එම වෙබ් අඩවියේ අඩංගු වී නොමැති බවක් නිරීක්ෂණය කිරීමට හැකිවු බවත් ඔවුන් සඳහන් කරයි.

තවද මෙම වෙබ් අඩවියෙහි නාමයෙන් ෆේස්බුක් පිටුවක් ක්‍රියාත්මකවන අතර එම ෆේස්බුක් පිටුව ක්‍රියාත්මක වන රට සහ එම ෆේස්බුක් පිටුව පාලනය කරනු ලබන පාලකවරුන් සම්බන්ධයෙන් විස්තර ෆේස්බුක් පරිශීලකයන්ට ප්‍රදර්ශනය කිරීමට ෆේස්බුක් සමාගම අපොහොසත් වී ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.

ජාතික හැදුනුම්පත් අංකය වැනි ජනතාවගේ පෞද්ගලික දත්ත මෙලෙස ජනාධිපතිවරණ සදහා සිදුකරන්නා වූ සමීක්ෂණ මුවාවෙන් රැස්කරගැනීම, හැදුනුම්පත් අංක රැස් කරනු ලබන්නේ කුමන කරුණක් සාක්ෂාත් කරගැනීම සඳහාද යන්න, සහ ජනාධිපතිවරණයෙන් පසු එම දත්ත වලට සිදුවන්නේ කුමක්ද යන්න සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්විය යුතු මාතෘකාවක් සේ  දකිනු ලබන බවත් විශේෂයෙන්ම මෙලෙස විවිධ වෙබ් අඩවි වලින් එක්රැස් කරගන්නා ලබන ජාතික හැදුනුම්පත් අංක භාවිතා කරමින් සමීක්ෂණය සහභාගී වන්නාගේ නම, දිස්ත්‍රික්කය, ස්ත්‍රී/පුරුෂ භාවය, මැතිවරණ කොට්ඨාසය,ජන්ද ප්‍රදේශය,ග්‍රාම නිලධාරී කොට්ඨාසය, වීදිය, ගෘහ අංකය යනාදී යම් පුද්ගලකුට අනන්‍ය වූ පෞද්ගලික දත්ත “ජන්ද හිමි ලියාපදිංචි තොරතුරු”  යන වෙබ් අඩවියට පිවිස ඕනෑම පුද්ගලයෙකුට ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ පිළිබදව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස කටයුතු කර ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.

තවද මැතිවරණ සමීක්ෂණ යැයි පෙන්නා මෙලෙස සිදුකරන පෞද්ගලික දත්ත එක්රැස් කරගැනීමේ ක්‍රියාවලීන් වෙත ඔබගේ පෞද්ගලික දත්ත ලබාදීමෙන් වළකින ලෙස සමස්ත ශ්‍රී ලාංකික ජන්ද දායකයින් හට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *