“චූන් කුරුල්ලා’’ පොලිස් අත්අඩංගුවට

“චූන් කුරුල්ලා’’ නමින් හඳුන්වන කොල්ලකරුවෙකු හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශය යටතේ ක්‍රියාත්මක වන නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු කලක් යුද හමුදාවේ සේවය කර ඇති අතර උදේ සහ දිවා ආහාරය සඳහා පලතුරු පමණක් ආහාරයට ගැනීම හේතුවෙන් ඔහුට “චූන් කුරුල්ලා’’ යන නාමය පට බැඳී ඇති බව විමර්ශන කටයුතු සිදුකරන නිලධාරීන් පවසා සිටියි.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ හලාවත, කටාන, මීගමුව, නාත්තන්ඩිය, දංකොටුව, මාරවිල, වාරියපොළ, කුලියාපිටිය, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසක කොල්ලකෑම් සිදුකර ඇති බවත් පසුගිය දිනක සැකකරු විසින් කටාන ප්‍රදේශයේ පිහිටි යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුට අයත් නිවසක්ද බිඳ ඇති බවත්ය.

සැකකරු සොරකම් කර ඇත්තේ ස්වර්ණාභරණ, දේශීය සහ විදේශීය මුදල් පමණක් වීම විශේෂත්වයක් වන අතර ඔහු විසින් සොරකම් කළ කුරුණෑගල අයකුට අලෙවි කර තිබූ රත්‍රන් පවුම් 17ක්ද විමර්ශන කටයුතු සිදුකරන නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

එමෙන්ම සැකකරු විසින් විවිධ පුද්ගලයන්ගෙන් ඉල්ලා ගෙන ඇති වාහන 12ක් පමණ උගස් කර ඇති බවත් විමර්ශන කණ්ඩායම අනාවරණය කරගෙන ඇත.

සැකකරු හලාවත, විලත්තව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක්ද පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. හලාවත දිසා අධිකරණයෙන් ලබා ඇති අවසරය මත සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *