චමින්ද විජේසිරි සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ගොනු කරයි

සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන්ට නියම කළ වසර එකහමාරක සිර දඬුවම අවලංගු කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බදුල්ල මහාධිකරණයේ අභියාචනයක් ගොනු කර තිබේ.

එම අභියාචනය අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙස මහාධිකරණයෙන් ඉල්ලා ඇති විජේසිරි මහතා, අභියාචනය විභාග කර තීරණය කරන තෙක් ඇප ලබා දෙන ලෙසද ඉල්ලීමක් කර ඇත.

පොදු මාර්ගයක නීතිවිරෝධී ලෙස ගමනාගමනය අවහිර කිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම සහ මරණ තර්ජන කිරීම යන චෝදනාවලට වරදකරු කරමින් බදුල්ල මහාධිකරණය අඟහරුවාදා (29) විජේසිරි මහතාට වසර එකහමාරක සිර දඬුවමක් නියම කළේය.

මෙම නඩුවට පාදක වී ඇත්තේ 2019 වසරේ සිදුවූ සිද්ධියකි. එහිදී පොලිස් ජීප් රථයක් මන්ත්‍රීවරයා ගමන් කළ වාහනය පසුකර යාමෙන් පසු ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ගැටුමක් ඇති වූ බව පැමිණිල්ලේ සඳහන් විය.

එම ගැටුමේදී පොලිස් නිලධාරීන්ට පහරදී තර්ජනය කළ බවට නඩු පවරා තිබුණි.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් විසින් චමින්ද විජේසිරි මහතා වෙනුවෙන් මෙම අභියාචනය ගොනු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *