ගෝලීය තෙල් මිල ඉහළ ගියත් මෙරට ඉන්ධන මිල වහාම ඉහළ නොදමන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි

ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණද, මෙරට ඉන්ධන මිල වහාම ඉහළ නැංවීමට කටයුතු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි.

CPC සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, ඉන්ධන මිල සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කර ඉදිරියේදී මිල වැඩි කරන්නේද නැද්ද යන්න පිළිබඳව දැනුම් දෙන බවයි.

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති ආතතීන් මෙන්ම රතු මුහුද සහ බාබ් එල් මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මතුව ඇති තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් තිබේ.

වාර්තා වන පරිදි බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.06ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක් පමණ වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සමාලෝචනය මෙම මස අවසානයේදී යළි සිදු කිරීමට නියමිතය.

මේ අතර, ඇතැම් පෞද්ගලික ඉන්ධන බෙදාහරින්නන් ඩීසල් අලෙවිය සීමා කර ඇති බවට වාර්තා පළව තිබුණද, සිපෙට්කෝ පිරවුම්හල්වල ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවද රාජකරුණා මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *