ගුවන් තොටුපළේ තදබදය අවම කිරීමට පියවර රැසක් ගන්නවා – සංචාරක ඇමැති

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BLA) මගී තදබදය අවම කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නොවැම්බර් 17 වැනිදා සිට ගුවන් තොටුපළ සහ සෞඛ්‍ය බලධාරීන් විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ වන විට කටුනායක ගුවන් තොටුපළ හරහා දිනකට සංචාරකයින් ඇතුළු විශාල මගීන් පිරිසක් මෙරටට පැමිණෙති. පැමිණෙන මගීන්ගෙන් සෞඛ්‍ය ප්‍රකාශ ලබාගැනීමේ ප්‍රමාදයක් පවතින බවට පැමිණිලි ලැබී තිබූ අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව නොවැම්බර් 17 වැනිදා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කටුනායක ගුවන් තොටුපළේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ආගමන විගමන පාලක, රේගු නිලධාරීන් මෙන්ම ගුවන් තොටුපළ හා ගුවන් සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, ගුවන් තොටුපළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කාර්යබහුල කාලවලදී සෞඛ්‍ය ප්‍රකාශන කවුළු ආශ්‍රිතව දැඩි මගී තදබදයක් පවතින බවත්, ඊට හේතුව සෞඛ්‍ය බලධාරීන් ප්‍රමාණවත් නිලධාරීන් මේ සඳහා යොදවා නොතිබීම බවත් අනාවරණය විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එවිට පවසා ඇත්තේ නුදුරේදීම සේවයට එක්වන නව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHIs) 30 දෙනෙකු කඩිනමින් ගුවන් තොටුපළට යොදවන බවයි. එතෙක් මෙම කාර්යය සිදු කිරීම සඳහා ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය 30ක් යෙදවීමට තීරණය විය.

සම්පූර්ණයෙන් එන්නත් කර ගුවන් තොටුපළ හරහා මෙරටට පැමිණෙන සංචාරකයින් ඇතුළු අදාළ ගුවන් සමාගම්වල සෞඛ්‍ය ප්‍රකාශ පරීක්ෂා කිරීම සඳහා වෙනම කවුන්ටර කිහිපයක් සහ වෙනත් මගීන් සඳහා වෙනම කවුළු කිහිපයක්  හඳුන්වා දීමට ද තීරණය විය.

ගුවන් තොටුපළ හරහා මෙරටට පැමිණෙන සංචාරකයින් ඇතුළු සියලුම මගීන්ට ඔන්ලයින් ක්‍රමය හරහා සෞඛ්‍ය ප්‍රකාශ සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය පහසුකම් ගුවන් තොටුපළ බලධාරීන් විසින් සලසා දී ඇත. ගුවන් තොටුපල වෙබ් පිටුවට පිවිසීමෙන් කෙනෙකුට සෞඛ්‍ය ප්‍රකාශය සම්පූර්ණ කළ හැක.

පැමිණීමට පෙර ප්‍රකාශ සම්පූර්ණ කරන මගීන්ට ප්‍රමාදයකින් තොරව ගුවන් තොටුපළෙන් පිටවීමට හැකි බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) හි සභාපති (AASL.) පෙන්වා දී ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය ප්‍රකාශන පරීක්ෂා කිරීමේ කවුන්ටර පරීක්ෂා කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු කාර්ය මණ්ඩලය පැය දෙකකට ආසන්න කාලයක් එහි රැඳී සිට අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට කඩිනම් පියවර ගැනීමට කටයුතු කළහ.

වසංගතයෙන් පසු රට නැවත විවෘත කිරීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමත් සමඟ ගුවන් තොටුපළේ දෛනික මගී මෙහෙයුම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර එහිදී දිනකට මගී මෙහෙයුම් 12,000 ක් පමණ ගුවන් තොටුපළේ සිදු වේ. ජනවාරි මාසයේ සිට ගුවන් තොටුපලේ මගී මෙහෙයුම් 746,085 ක් සිදු කර ඇති අතර, ඉන් 409,496 පැමිණීම් සහ 336,589 පිටත්වීම් විය.

ගුවන් තොටුපලේ මගී ධාරිතාව වාර්ෂිකව මිලියන හයකි. වසංගතය පැතිරීමට පෙර, එහි වාර්ෂික මගී ගමනාගමනය මිලියන 10 ඉක්මවයි.

දැනට ගුවන් තොටුපළේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති අවසන් වීමෙන් පසු වාර්ෂිකව ගුවන් තොටුපළේ මගී මෙහෙයුම් ප්‍රමාණය මිලියන 15 දක්වා ඉහළ නැංවිය හැකි බව අමාත්‍ය රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *