කොරෝනා

කොරෝනා වෛරසය හේතුවෙන් මතුව ඇති ආර්ථික ගැටලු පිළිබඳව රජයේ අවධානය

‘කෝවිඩ් 19’ හෙවත් කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම සහ එවන් හදිසි තත්ත්වයකට මුහුණදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

කොරෝනා වෛරසය හේතුවෙන් නිෂ්පාදන අමුද්‍රව්‍ය ආනයනය කිරීම අඩාල වීම නිසා මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහි දී විශේෂ අවධානයක් යොමු වූ අතර, ඇඟළුම් කර්මාන්තය, ඖෂධ නිෂ්පාදනය, සංචාරක කර්මාන්තය, විදේශ රැකියා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී ක්ෂේත්‍ර පිළිබඳව එහි දී වැඩිදුරටත් සාකච්ඡා විය.

ඇඟළුම් කර්මාන්තය සඳහා ඩොලර් බිලියනයක පමණ රෙදි පිළි චීනයෙන් ආනයනය කරන අතර, ගෙවී ගිය මාසයක පමණ කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 500ක පමණ නිෂ්පාදන ධාරිතාවක් මෙරටට අහිමි වූ බව මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ විය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා රජයෙන් සහන සැලසීම සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු කෙරිනි.

කොරෝනා වෛරසය යම් ලෙසකින් මෙරට ව්‍යාප්ත වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ මිනිසුන් දහසකට වැඩි ප්‍රමාණයක් එකවර නිරෝධායනය කිරීමේ හැකියාව මේ වන විට යුද්ධහමුදාව විසින් සළසා ඇති බවයි. තවද යම් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා අවශ්‍ය මුඛ ආවරණ ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍යයන්හි නිෂ්පාදන වැඩි කිරීම සඳහා ද මේ වන විට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ වුව ද මෙම වර්ෂය පුරා කිසිදු ගැටලුවකින් තොරව ඖෂධ ද්‍රව්‍ය සැපයීමේ හැකියාව රජය සතු බව ද මෙම සාකච්ඡාවේ දී සඳහන් කරන ලදී.

අප ලෝක ආර්ථිකය සමඟ බද්ධ වී සිටින රටක් වන බැවින් උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ රජයක් ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අනුගමනය කරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් අතර, කොරෝනා වෛරසය බෝවීම වළක්වා ගැනීම සඳහා සෑම ආයතනයක්ම දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා හැරීමට කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා, විදේශ සබඳතා නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ වෘත්තිය සංගම් නියෝජිතවරුන් සහ ව්‍යාපාරික ආයතනවල ප්‍රධානීහු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *