කොරෝනා වෛරසය ආසාධිත චීන කාන්තාව ශ්‍රී ලංකාවේ සැරිසැරූ තැන් සොයා ගැනේ

නව කොරෝනා වෛරසය ආසාධනය වී අංගොඩ උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන චීන කාන්තාව දින හයක කාලයක් ශ්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සංචාරය කර ඇති අතර ප්‍රමුඛ පෙලේ හෝටල් පහක නවාතැන්ගෙන ඇති බවටත් අණාවරණය කරගෙන ඇතැයි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි.

පසුගිය 19 වැනිදා චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට මෙරටට පැමිණ ඇති මෙම කාන්තාව ඇතුලූ පිරිස එදින නවාතැන් ගෙන ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ පිහිටි හෝටලයකය. පසු දින (20) නවාතැන්ගෙන ඇත්තේ සීගිරිය ප‍්‍රදේශයේ හෝටලයකය. 21 වැනිදා නුවරත් 22 වැනිදා නුවරඑළිය සංචාරය කිරීමෙන් අනතුරුව නුවරඑළිය පිහිටි හෝටලයකත් නවාතැන් ගෙන ඇත.

මෙම පිරිස 23 හා 24 දෙදින ගාල්ල ප‍්‍රදේශයේ සංචාරයකර අනතුරුව අහුන්ගල්ලේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන ඇති අතර එහිදී මෙම චීන ජාතික කාන්තාවට උණ රෝගය වැළඳීම හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇතැයිද එම අමාත්‍යංශය සඳහන් කරයි.

සිය සංචාරය අවසන් කළ මෙම පිරිස නැවත චීනය බලායෑමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියදී බලපිටිය මූලික රෝහලෙන් කළ දැනුම්දීමකට අනුව ගුවන්තොටුපළ බලධාරීන් විසින් ඇය අයි.ඩී.එච් උණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය සමඟ සංචාරයේ යෙදුන අනෙක් පිරිස නැවැත චීනය බලාගොස් ඇති බවට වාර්තාවී ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම කණ්ඩායම එම කාලසීමාව ඇතුළත පෞද්ගලික සංචාරක ආයතනයකින් සංචාරක මඟපෙන්වන්නන් ලෙස තරුණියන් දෙදෙනෙකුගේ සේවය ලබාගෙන ඇති බවටත්වා එම තරුණියන් දෙදෙනා හා ඔවුන් මෙරට රැඳී සිටිකාලය ඇතුළතදී ඇසුරුකළ පිරිස් සම්බන්ධයෙන්ද මේ වනවිට සොයාබලන බවද සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *