කුරුන්දි පුදබිමේ උණුසුම් තත්ත්වයක්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් මුලතිව් කුරුන්දි පුදබිම තුළ දී දෙපාර්ශ්වයක් අතර ඊයේ(18) නොසන්සුන් තත්ත්වයක් හටගැනිණි.

ඒ, එහි පුදපූජා පැවැත්වීමක් සම්බන්ධයෙනි.

ආන්දෝලනයකට තුඩු දුන් මුලතිව් කුරුන්දි පුදබිමේ ඊයේ සිට ලබන 20 වනදා දක්වා දින තුනක පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති භික්ෂූන් වහන්සේ ඇතුළු එහි දායක සභාව සැලසුම් කර තිබිණි.

මෙවන් පසුබිමක දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කරන එස්.ශ්‍රීධරන්, ගජේන්ද්‍ර පොන්නම්බලම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සමගින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් හා හින්දු භක්තිකයන් පිරිසක් අද එහි පොංගල් උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණු බව සඳහන්ය.

ඒ අනුව, භික්ෂුන් වහන්සේ සහ බෞද්ධ සැදැහැවතුන් පිරිස ඊයේ පෙරවරු 09ට පමණ කුරුන්දි පුදබිමට පැමිණ සිටි බව වාර්තා වෙයි.

එහි ආගමික වතාවත්වල නිරත වූ භික්ෂූන් වහන්සේ සහ සැදැහැවතුන් කුරුන්දි සෑ මළුවේ දී රතන සූත්‍රය සජ්ඣායනාවක් ආරම්භ කර ඇති අතර, මේ අතරවාරයේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කරන එස්.ශ්‍රීධරන් සහ ගජේන්ද්‍ර පොන්නම්බලම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සමගින් හින්දු භක්තිකයන් පිරිසක් ද පූජා භූමියට ඇතුළු වි තිබේ.

එම පිරිස කුරුන්දි විහාරයේ පිළිම ගෙය ලෙස දැනට හඳුනාගෙන ඇති ගොඩනැගිල්ල ඉදිරිපිට පොංගල් බතක් සෑදීම සඳහා ලිපක් ඉදි කළ අතර, තවත් ලිපක් සකස් කිරීමට යාමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අවසර ලබා නොදී ඇත.

කෙසේ වෙතත් විරෝධතා මධ්‍යයේ ඒම පිරිස එක් ලිපක් පමණක් සාදා පොංගල් බත් සකස් කළ අතර, පිළිම ගෙයට පිවිසෙන පියගැට පෙළෙහි දේව ප්‍රතිමා තබා පහන් දැල්වීමට යාමේ දී පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමි එහි පැමිණ සිය විරෝධය පළකර ඇත.

එහි දී දෙපාර්ශ්වය අතර නොසන්සුන්තාවක් හට ගැනුණු අතර, පොලීසිය මැදිහත් වී හිමි නම එම ස්ථානයෙන් ඉවත් කිරිමෙන් පසු හින්දු භක්තිකයන් පොංගල් චාරිත්‍ර ඉටු කළ බව වාර්තා විය.

කෙසේවෙතත් එහි සිටි හින්දු භක්තිකයන් හා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පොලීසිය සමඟ සංවාදයක නිරතවුණේ, තමන්ට එම භූමියෙන් ඉවත්ව යාමට නොහැකි බව පවසමිනි.

පසුව පොලීසිය හින්දු බැතිමතුන්ගේ ආරක්ෂාව තර කරමින් බෞද්ධයන්ට පිළිමගෙය නැරඹීමට අවස්ථාව ලබාදෙන ලදි.

ඉන්පසු හින්දු බැතිමතුන් කුරූන්දි සෑ රදුන් නැරඹීමට ආ අවස්ථාවේ දී එහි සිටි බෞද්ධයන් විරෝධය පළකිරීමත් සමඟ යළිත් නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

කෙසේවෙතත් දහවල් 02ට පමණ දෙපාර්ශ්වයම කුරුන්දි පුදබිමෙන් ඉවත්ව ගිය බව අප වාර්තාකරු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *