ඖෂධවලින්

ඖෂධවලින් සියයට 80ක් ඉන්දියාවෙන්

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවලින් සියයට 80ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් පැවති සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් මේ බව සඳහන් කර තිබේ.

වර්තමානයේදී ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වූ ඖෂධ මෙරට තුළ භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත.

එමෙන්ම පේරාදෙණිය රෝහලේ සිදුවීම සිදුවන අවස්ථාවේ එම වාට්ටුවේම සිටි රෝගීන් 12දෙනෙකුට අදාළ ඖෂධය ලබා දී ඇති අතර මෙම වසර තුළ 167,000ක් මෙම ඖෂධය භාවිත කර ඇති බවත් අදාළ ඖෂධය 2013 වසරේ ලියාපදිංචි කළ ඖෂධයක් බවත් මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව බාල ඖෂධ ලෙස අර්ථකථනයක් නොමැති බැවින් බාල ඖෂධ යන්න තමන් ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී මහාචාර්ය සේනක බිබිලේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ ද යන්න සම්බන්ධයෙන් තිස්ස විතාරණ මන්ත්‍රීවරයා විමසා සිටි අතර එම ප්‍රතිපත්තිය තවමත් අනුගමනය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මෙම ප්‍රතිපත්තිය මඟින් සම්පූර්ණ වසරකට අවශ්‍ය ඖෂධ, ඖෂධ නාමය සහිතව එක්වර ටෙන්ඩර් කොට ලබාගැනීම පිළිබඳව දක්වා ඇති බව ද මහාචාර්ය තිස්ස විතාරණ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දිස්ත්‍රික් මට්ටමින් රෝහල් ආශ්‍රිතව පවතින ගැටලු, නිලධාරීන් සම්බන්ධ පුරප්පාඩු, ඖෂධ සහ උපකරණ හිඟය පිළිබදව ද සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *