උද්ඝෝෂණය කළ සරසවි සිසුන් සාකච්ඡා මේසයට

ඉල්ලීම් 06ක් මුල් කර ගෙන විශ්වවිද්‍යාල සිසුන් ඊයේ (09) සිදු කළ උද්ඝෝෂණට කිසිඳු බාධාවක් නොකිර සිසුන් සමග සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබාදීමට ජනාධිපති අතිරේක ලේකම්වරයාට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබුණා. මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් ඒ අතර වනවා.

අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම ජනාධිපති ලේකම් වරයා දැනුවත් කර උපදෙස් ලබාගත් නිළධාරීන් ශිෂ්‍ය නියෝජිතයින් සමගද සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව නොවැම්බර්, දෙසැම්බර් මාසවල හිඟ මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් ලබන සඳුදා වන විට ගෙවීමට එකගවී තිබෙනවා.

දේශන සඳහා පැමිණීම දින 80% ක ප්‍රතිශතය සම්පූර්ණ නොකළ සිසුන්ට මහපොළ ලබාදීම, ශිෂ්‍යාධාර සහ මහපොළ සම මට්ටමට ගෙන ඒම, සබරගමු විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ඇති ගැටලු, ශිෂ්‍යාධාර පිරිනැමීමේදී සලකා බැලෙන දෙමාපිය ආදායම ලක්ෂ 07ක් දක්වා වැඩි කිරීම යන යෝජනා පිළිඹද කඩිනමින් විසඳුම් ලබා දීමටද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.

සාකච්ඡා වූ කරුණු ලිඛිතව ලබා දීමටද නිළධාරීන් එකග වූ අතර පවතින ගැටලු සම්බන්ධයෙන් මසකට වරක් ශිෂ්‍ය නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමටද යෝජනා වී තිබෙනවා. එහිදී ශිෂ්‍ය නියෝජිතයින් සඳහන් කර ඇත්තේ ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි සිසුන් ඉතාමත් සාමකාමීව විසිර යාම මෙහිදී දක්නට ලැබුණු දුර්ලභ සිදුවීමක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *