ඉහල පොලිස් නිලධාරීන් ඇසුරුකල සුරූපිනිය අත්අඩංගුවට

රුපියල් කෝටි ගණනින් කප්පම් ඉල්ලන බවට තම ජංගම දුරකථනයට ව්‍යාජ පණිවිඩයක් ගෙන්වා ගෙන ඒ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කොට ඉහළ නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කරන සුරූපි කාන්තාවක මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ විද්‍යුත් තැපැල්ලට ලද ඒ ආකාරයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි කොට්ඨාශය යොදවා සිදුකළ විමර්ශනයකදී එය ව්‍යාජ පැමිණිල්ලක් බවට තහවුරු වීමෙන් පසු සිදුකළ පොලිස් විමර්ශන වලින් අනතුරුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ .

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාව ජංගම දුරකථන දෙකක් භාවිතා කොට එක් දුරකථනයක කප්පම් ඉල්ලා මරණ තර්ජනය කොට ලිපියක් සකසා එය ඇයගේම අනෙක් ජංගම දුරකථනයට යවා ඇති බවයි .

එම කාන්තාව පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ ලිපිනයක පදිංචි බවට පැමිණිල්ලේ සඳහන් කොට තිබුනත් එවැනි ලිපිනයක් නොමැති බවට බුද්ධි නිලධාරීන් තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාරදීමෙන් අනතුරුව ඇයගේ ජංගම දුරකථනයේ ලිපිනයට අනුව කැකිරාව තලාව ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබේ .

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 21 වැනි දින නිල නිවාසය තුළදී තම රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබාගෙන මිය යාමට පෙර අවසන් වරට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ ද ඇයගේ දුරකථනයෙන් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

ඇය එම මරණ පරීක්ෂණයේදී ව්‍යාජ නමකින් සාක්ෂි ලබා දී ඇති බවටද අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව ද පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *