ඉන්දීය පිලට තුන්වැනි වරටත් දඩ නියම වේ

පෙරේදා හැමිල්ටන් නුවරදී ඉන්දීය පිලට කඩුලු 4ක පරාජයක් උරුම කරදුන් නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදි නියමිත කාලය ඇතුළත අවශ්‍ය ඕවර ප්‍රමාණය සම්පූර්ණ කිරීමට අසමත්වීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පිලටදඩ මුදලට යටත් වීමට සිදුවීය. ඉන්දිය පිල මේ වරද සිදු කළේ පිට පිට තුන්වැනි වරටය. ඒ අනුව එම තරග මුදලින් 80%ක දඩයක් පැනවීමට තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් පියවර ගත්තේය.

ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි වරද පිළිගැනීම නිසා වැඩිදුර පරීක්ෂණ සිදු නොකරම මේ දඩුවම නියම කෙරිණි.

මීට පෙර පැවැති හතර වැනි හා පස්වැනි විස්සයි20 තරගවලදී ද ඉන්දීය පිල මේ වරදට හසුවූ අතර සිවුවැනි තරගයේ මුදලින් 40%ක දඩ මුදලක් පනවා තිබිණි. පස්වැනි තරගයෙන් නායක කෝලි ඉවත්ව සිටි අතර එම තරගයේදි ඉන්දීය පිලේ නායකත්වය දරනු ලැබුවේ රෝහිත් ෂර්මා විසිනි.

එහෙත් ඔහු පන්දුවට පහර දෙමින් සිටියදි ආබාධයකට ලක්වීම නිසා නවසීලන්ත ඉනිමේදි නායකත්වය දරනු ලැබුවේ ලෝකේෂ් රාහුල් විසිනි. එම තරගයේදි ද නියමිත කාලය ඇතුළත අවශ්‍ය ඕවර ප්‍රමාණය සම්පූර්ණ නොකිරීමෙන් ඉන්දීය පිලට යළි 20% දඩයක් පනවා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *