ඉදිරි දින කිහිපයේත් මඩ සූදානම් – ආණ්ඩුවේ සැලසුම් සියල්ල විමල් හෙළිකරයි

ඉදිරි දින කිහිපයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරමින්  අසත්‍ය මඩ ප්‍රචාර පතුරුවාහැරීමේ කුමන්ත්‍රණයක් පවතින අතර විසුම්පාය මුල් කරගනිමින් එම මඩ ප්‍රචාර නිර්මාණය කෙරෙන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  අනාවරණය කර සිටී.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පෞද්ගලික මාධ්‍ය ආයතනයකට පහර දී එහි අපකීර්තිය ගෝඨාභය රාජපක්ෂ මහතා පිට පැටවීමේ සැලැස්මක් ගැනද වාර්තා වී ඇති බවයි. මේ අතර රාජිත සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ(11) පැවැත්වීමට නියමිතව තිබූ තවත් මඩ ප්‍රචාරයක් කිරීමට සූදානම්වූ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව හදිසියේ අවලංගු කර තිබිණි.

මේ පිළිබඳවද විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා හෙට්ටිපොළ පැවති ජනරැලියකදී අනාවරණයක් සිදුකර තිබූ අතර ඒ ලෙසම සුදු වෑන් රියදුරකු ගෙනැවිත් එවැනි මාධ්‍ය හමුවක් පැවැත්වීමට රාජිත් සේනාරත්න ඇමැතිවරයා කටයුතු කර තිබෙනු දක්නට ලැබිණි. බේරුවල පැවති ජනහමුවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරාය කියා සිටියේ එවැනිම හෙළිදරව්වක් සඳුදා දින සිදු කරන බවයි. ඒ අනුව කොළඹ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණු කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර මාධ්‍යවේදීන් ඒ සඳහා නියමිත වේලාවට පැමිණ සිටි නමුත් පැය තුනකට ආසන්න කාලයක්  ඔවුන් එහි රැඳී සිටියත් පසුව රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍ය හමුවට සහභාගි වීමට නියමිතව සිටි දෙදෙනකු පැමිණීමට ප්‍රමාද වන බැවින් එදින එය නොපවත්වන බවයි.

ඒ අතර පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාද අද මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ යුද හමුදා මූලස්ථානය – පැවති ස්ථානයෙන් ඉවත් කර එම භූමිය විකිනීම හරහා රාජපක්ෂ රජය මුදල් වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කර සිටියේය.

මෙවන් පසුබිමක ඒකාබද්ධ විපක්ෂය අද කියා සිටියේ ජනාධිපතිවරණය ආසන්නයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් අසත්‍ය ප්‍රචාර පතුරුවාහැරීමේ ක්‍රමන්ත්‍රණයක් ආණ්ඩුව දියත් කරන බවට තමන්ට කල් තබාම තොරතුරු ලැබී තිබූ බවයි. එසේම විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටියේ ඉදිරි දින කිහිපය තුළ මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙමින් සිට පසුව එජාපය හා එක්වූ මන්ත්‍රීවරයකු පැහැර ගැනීමක් හෝ පහරදීමක් සිදුකොට එයද ගෝඨාභය මහතාගේ ගිණුමට බැර කිරීමේ උත්සාහයක් පිළිබඳවද වාර්තා වී ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *