ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍ය උපදේශක කාරක සභාව ඊයේ (07) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්විය.
මෙම හමුවේදී මීට පෙර මතුකළ කරුණුවල ප්‍රගතිය මෙන්ම උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉස්මතු කරන ලද කරුණු පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්විණි. දැනට උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරක්‍ෂක අංශ සතුව පවතින ඉඩම් නිදහස් කිරීම සහ වසා දමා ඇති මාර්ග කොටස් විවෘත කිරීම සම්බන්ධයෙන් වන අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, ඒ සඳහා ගත හැකි විසඳුම් ගවේෂණය කර ඇත.
ආගමික ස්ථාන ආශ්‍රිතව පවතින ඉඩම් පිළිබඳ ගැටලු විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ යාවත්කාලීන කිරීම් ද ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියෙන් පසුව, විශේෂයෙන් මාර්ග සහ වාරිමාර්ග පද්ධති සම්බන්ධයෙන් මෙන්ම, විපතට පත් ගොවීන්ට වන්දි ලබා දීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙහි තවදුරටත් අවධානය යොමු විය.
2025 වසරේදී පමණක් උතුරු පළාතේ පෞද්ගලික ඉඩම් අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා ඉතිරි ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට කටයුතු කරමින් සිටින බව ද පැවසීය.
ජීවනෝපාය සඳහා අවශ්‍ය ඉඩම් ආපසු ලබා දෙන අතරම, කාර්මික හා ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් සම්පත් කළමනාකරණය කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බව ඔහු අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ සුබසාධනය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ කරුණු ද කමිටුව විසින් සමාලෝචනය කරන ලදී. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රෙගුලාසි කිහිපයක් සඳහා අනුමැතිය හිමි විය.


