අයහපත් කාලගුණයෙන් රටටම පීඩා

අධික වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිව්දෙනකු මියගොස් ඇති අතර දිස්ත්‍රික්ක නවයකට බලපෑම් ඇතිවී ඇතැයි කාලගුණ වාර්තා පවසයි.

ගතවූ පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. ඒ ගල්ගමුව ප්‍රදේශයෙනි.

ඇද හැළුණු අධික වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් ගංවතුර තත්ත්වයන්, පස්කඳු කඩාවැටීම් වාර්තා විය.

පවතින අධික වර්ෂාව හේතුවෙන් බණ්ඩාරවෙල වැල්ලවාය මාර්ගයේ ඇල්ල බිංගය ආසන්නයේදී අද(20) දහවල් පස් කන්දක් කඩාවැටී මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇතිවිය.

බණ්ඩාරවෙල ඇල්ල සංචාරක නගරයේ ඇල්ල මංසන්ධිය ආසන්නයේ පිහිටි සංචාරක නිවාස කිහිපයක් මතට පස් කන්දක් කඩාවැටී ඒවා සම්පූර්ණයෙන්ම විනාශවූ බවද වාර්තාවේ.

එහිදී තුවාල ලැබූ ඔස්ට්‍රේලියානු ජාතික මව, පියා සහ පුතකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

නකල්ස් කඳුවැටියට යන මාර්ගය අද පොලිසිය විසින් වසා දැමුණේ වර්ෂාවත් සමග ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්වය හේතුවෙනි.

කණ්ඩලම ජලාශය දෙවැනි වතාවටත් වාන් දැමීම හේතුවෙන් දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති අතර දඹුල්ල නගරයේ මධ්‍ය තම්මැන්ඇල, මිරිස්ගෝනියා ඔය සහ ප්‍රධාන ඇල මාර්ග සියල්ල පිටාර ගලමින් පවතී.

වැසි හමුවේ කතරගම මැණික් ගඟේ ජල මට්ටමද ඉහළ යෑම නිසා සෙල්ල කතරගම ගඟේ දේවාලය ද ජලයෙන් යටවිය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලිමෙන් සෝමාවතිය පුජාභුමියට යන මාර්ගයද ජලයෙන් යට වී ඇත.

කුඹුක්කන් ඔය පිටාර ගැලීමෙන් මොණරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගය කුඹුක්කන ප්‍රදේශයෙන් කලවැල්ආර මාර්ගයද ජලෙයන් යටවිය.

බදුලුඔය පිටාර ගැලීම නිසා හාලිඇල උඩුවර ගම්මාන 5කට පිවිසෙන මාර්ග සම්පූර්ණයෙන් අවහිර වී නිවාස රැසකට හානි සිදුවී ඇති අතර බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය ස්ථාන දෙකකින් නාය යෑමකට ලක්වීම නිසා අද පස්වරුවේ රථවාහන ධාවනයට ද බාධා එල්ලවිය.

අනුරාධපුර වෑගම්පහ ප්‍රදේශයේ නෙළුම්පත්ගම, අඹගස්වැව ඇතුළු ගම්මාන රැසක නිවාස ගංවතුරින් යටවී ඇත.

මොණරාගල දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග පවුල් 1150 ක් අවතැන් වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම බිබිල බදුල්ල මාර්ගයට ස්ථාන කිහිපයකින් පස්කදු කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනට ද බාධා එල්ල විය.

ඊයේ රාත්‍රියේ සිට පවතින වැසි සහ සුළං හේතුවෙන් අනුරාධපුර නාච්චදූව, හිඩෝගම හා සුවඳගම ආදි ගම්මාන රැසක නිවාස 42කට හානි සිදුව තිබුණි.

මේ අතර ඇදහැලෙන වර්ෂා පතනය හමුවේ යාල වනෝද්‍යානයේ මහාබුතව වැවේ ජල මට්ටම ඉහළ යාම හමුවේ එහි පැති බැම්මක් කැඩී යාමෙන් පහත් බිම් යටවී තිබේ.

ඇදහැලුණු වැසි තත්ත්වයත් සමග මහවැලි ජලය කලාඔයට එකතුවීමෙන් මේ වන විට කලාඔය පිටාර ම්ටටමට පැමිණ තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ කලාඔය දෙපස තලාව, තඹුත්තේගම, ඉපලෝගම සහ ගල්නෑව ආදි ගම්මානවල පහත්බිම්වල වෙසෙන ජනතාවට ඉන් තාවකාලිකව ඉවත්වන ලෙසයි.

අද පස්වරු 3 පමණ වනවිට දඹුලුඔය, ඉබ්බන්කටුව සහ ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සිට කලාවැවට නිකුත් වන ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 32,435 කි.

කලාවැවේ වාන් දොරටු දෙකම අඩි 18බැගින් උපරිමය දක්වා විවෘත කර ඇතත් ඉන් පිටවන ජල ධාරිතාවය තත්පරයට ඝන අඩි 22,725ක් පමණ වේ.

තඹුත්තේගම අංගමුව ජලාශයේ ඇති වාන් දොරටු දෙකත් මේ වන විට විවෘත කර ඇති අතර නාච්චදූව වෑවේ හදිසි වාන් දොරටු 6න් 4ක් විවෘත කර ඇත.

නුවර වැව, තිසා වැව, බසවක්කුලම,මහකනද්රාව, මහවිලච්චිය සහ තුරුවිල ආදී මහ වැව් ද මේ වන විට වාන් දමන බව වාර්තා වේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරි පැය 24තුළ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 100ත් 150ත් අතර වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *