අජිත් නිවාඩ් කබ්රාල්ගේ පත්වීමට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප කරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගයකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම නිෂ්ප්‍රභ කර තිබේ.

කබ්රාල් මහතා මහ බැංකු ප්‍රධානියා ලෙස පත්කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, කබ්රාල් මහතා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙසත් පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය ප්‍රකාරව මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බැවින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ආඥාවක් නිකුත් කළ නොහැකි බවට මූලික විරෝධතා මතු විය. ඊට අමතරව නීතිපතිවරයා තවත් මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කළේය.

පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා අධිකරණය පිළිගන්නා බවයි. මෙම නඩුවට අදාළව කරුණු දැක්වීමට පෙත්සම්කාර පාර්ශ්වය අපොහොසත් වීම හේතුවෙන් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *