හෙරොයින් ගෙන ආ යාත්‍රාව කොටුකරගත් හැටි

හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 336යි ග්‍රෑම් 300 ක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව අද සිය  භාරයට ගෙන තිබුණි.

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 3,100කි.

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ, සති 3කට ආසන්න කාලයක් නාවික හමුදාව හා පොලීසිය මුහුදේ අඛණ්ඩව සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට කිලෝමීටර 1,370ක් පමණ දුරින් යාත්‍රාවකින් ප්‍රවාහනය කළ එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වු බවය.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි මුහුදේ විදේශීය ධීවර යාත්‍රාවකින් හොරොයින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බවට අගෝස්තු 12 වැනිදා පොලිසියට බුද්ධි තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව, දිවයින වටා මුහුදු තීරයේ විශේෂ මෙහෙයුමක් දියත්කර ඇත්තේ, පොලිසිය හා නාවික හමුදා බුද්ධි අංශය සමග එක්වය.

හෙරොයින් විශාල තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ එම යාත්‍රාව නාවික හමුදාව විසින් එහිදි සිය භාරයට ගෙන ගත්තේය.

යාත්‍රාව පරීක්ෂා කිරීමේදී එහි තිබි හමුවූ හෙරොයින් තොගයේ ඇසුරුම් සමග බර කිලෝග්‍රෑම් 336 යි ග්‍රැම් 300ක් වන අතර, අත්අඩංගුවට ගනු ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයින් ගණන 7කි.

මත්ද්‍රව්‍ය, එම යාත්‍රාව සහ අත්අඩංගුවට ගැණුනු පිරිස නාවික හමුදාවේ සමුදුර නෞකාව මගින් කොළඹ වරායට රැගෙන ආ අතර එහිදී පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත භාරදෙනු ලැබීය.

යාත්‍රාව ඉරානයට අයත් බවත්,  සැකකරුවන් 7දෙනා පාකිස්ථාන ජාතිකයින් බවත් මේ වන විට හඳුනාගෙන තිබේ.

මේ අතර, පසුගිය අගෝස්තු 30 වැනිදා ද ශ්‍රී ලංකා නාවික හමුදාව බේරුවල වරායට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් කිලෝ 290ක හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක්, පුද්ගලයින් 5 දෙනෙකු සමග සිය භාරයටගනු ලැබීය.

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 232කි.

ඒ අනුව, සතියක් තුළ මෙරට මුහුදේදී සොයාගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 625කට ආසන්නය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *