හුංගම ප්රදේශයේදී හුංගම පොලිස් නිලධාරීයකුගේ ගිනි අවියක් ක්රියාත්මක වී හිමිනමකට වෙඩි වැදී අපවත්වීමේ සිද්ධියට සම්බන්ධ ගිනිඅවිය රජයේ රස පරීක්ෂකට යොමුකර නීතිපතිගේ උපදෙස් ලබාගෙන කරුණු වාර්තා කරන ලෙස අඟුණකොළපැලැස්ස මහේස්ත්රාත්වරිය තංගල්ල සහකාර පොලිස් අධිකාරීට අද (20) නියෝග කළාය. සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රියේ ඉදිරි අසුනේ වැඩම කළ හාතාගල රාජමහා විහාරාධිපති පල්ලේගම ජිනරතන නා හිමියන් හා සිද්ධියට අදාළ පොලිස් නිළධාරීන් දෙදෙනා ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සිදු කෙරිණි.
අපවත් වූ උණාවටුනේ සීලරතන හිමියන්ගේ දේහය අදාහනය කිරීමට අවසර ලබාදුන් මහේස්ත්රාත්වරිය එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිළධාරින් දෙදෙනා මුදාහැරිමට නියෝග කළ අතර පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම මත අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු ජනවාරි (27) දක්වා බන්ධනාගාරගත කිරීමටද නියෝග කළාය . අපවත් වූ සීලරතන හිමියන්ගේ අදාහන කටයුතු බදාදා (22) හුංගම හාතාගල රාජමහා විහාරස්ථාන ආදාහන මළුවේ දී සිදු කිරීමට නියමිතය.