LK reports news sinhala

හින්දු බැතිමතුන් ආලෝකය උදෙසා පවත්වන දීපාවලී උත්සවය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් අලෝකය වෙනුවෙන් පවත්වනු ලබන සංස්කෘතික මංගල්‍යය වන දීපවාලී උත්සවය අදට(27) යෙදී ඇත. මේ හේතුවෙන් මුස්ලිම් නොවන සියලු දෙමළ පාසල්වල සිසුන්ට හෙට(28) නිවාඩු දිනයක් ලෙස  අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

“ආලෝක පේලිය” යන අර්ථය සහිත දීපවාලි උත්සවය නිමිත්තෙන් සුබපැතුම් එක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ දීපවාලිය එහි ගැඹුරු අරුතින් සුරාසුර සටනින් නපුරත් අයහපතත් පරදවා මානව සමාජයට නිදහස අත්කර දුන් ඓතිහාසික සැමරුමක් බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දීපවාලි සැමරුම් පණිවිඩය මඟින් දක්වා ඇත්තේ මනුෂ්‍යත්වය රජ වී සාමය සමාදානය උදා වී සිය පුද්ගලික අභිමතාර්ථ සපුරාගැනීම පිණිසම නොව අන්‍යන්ගේ යහපත කෙරෙහි ද අවධානය යොමුකළ යුතුය යන්න දීපවාලියේ ඉගැන්වීම බවයි.

දීවාලි නැතහොත් දීපාවලී උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවය ලෙස හැඳින්වෙනවා.  හින්දු භක්තිකයන්ට අනුව දීපාවලි උත්සව සැමරුම වසර 35000 කට පෙර සිට පැවත එන්නක් වේ.

මෙම උත්සවය දින 5ක් පුරා පැවැත්වෙන අතර මෙය පැවැත්වීමට පාදක වූ පුරාවෘත කිහිපයක්ම හින්දු ජනයා අතර ප්‍රචලිතව පවතී. විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් දීපාවලී උත්සවය සමරන අතර මෙම උත්සවය තුලින් තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.

මෙම ඉල්ලීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිකරගෙනයි.

දිපාවලිය සැබවින්ම ආලෝක පුජාවකි. නිවෙස් තුළ මෙන්ම නගර මුළුල්ලේ ම දහස් ගණන් පහන් දල්වා ආලෝකවත් කිරීම මෙම උත්සවයේ ප්‍රධානතම අංගයකි.

දීපාවලී උත්සවය  ජාතික උත්සවයක් ලෙසත්, එය ලොව අඳුර නසා ආලෝකය උදාකරවන්නක් ලෙසත්, අඥානය නැති කොට ඥානය පහළ කරන උත්සවයක් ලෙසත් හින්දු භක්තිකයින් සලකනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *