හම්බන්තොට වරායෙන් ආනයනය කළ වාහනවල ස්මාර්ට් යතුරු සොරකම් කර විකිණූ බව කියන දෙදෙනෙක් අත්අඩංගුවට

හම්බන්තොට වරාය හරහා මෙරටට ආනයනය කරන ලද වාහනවලට අයත් ස්මාර්ට් යතුරු සොරකම් කර අලෙවි කළ බව කියන ජාවාරමක් සම්බන්ධයෙන් හම්බන්තොට වරායේ සේවකයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වරාය ආරක්ෂක නිලධාරීන් සිදුකළ විමර්ශනයකදී ආනයනය කළ වාහනවලින් ස්මාර්ට් යතුරු සොරකම් කළ බවට සැක කෙරෙන වරාය සේවකයෙකු හඳුනාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු හම්බන්තොට වරාය පොලිසිය වෙත භාරදී තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර සේවකයා සොරකම් කළ ස්මාර්ට් යතුරු කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කර ඇති බවයි.

වාහනයේ වර්ගය අනුව එක් ස්මාර්ට් යතුරක් රුපියල් 6,000ක පමණ මුදලක සිට අලෙවි කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

මාස කිහිපයක් පුරා ස්මාර්ට් යතුරු 45කට ආසන්න සංඛ්‍යාවක් අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇති අතර, එම ජාවාරමෙන් සැකකාර සේවකයා රුපියල් මිලියන 1.5කට වැඩි මුදලක් උපයාගෙන ඇති බවට සැක කෙරේ.

සේවකයාගෙන් ලබාගත් තොරතුරු මත සොරකම් කළ යතුරු මිලදී ගත් බව කියන කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබූ ස්මාර්ට් යතුරු කිහිපයක්ද සොයාගෙන තිබේ.

හම්බන්තොට වරාය හරහා වාහන ආනයනය කිරීම ආරම්භ කළ කාලයේ සිටම මෙම ජාවාරම ක්‍රියාත්මක වී තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශකයන්ගේ අවධානය යොමුවී තිබේ.

සැකකරුවන් දෙදෙනා සැප්තැම්බර් 11 වැනිදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *