LK reports news sinhala

සහරාන් කල්ලියේ දෙවැනි ප්‍රහාරයේ සැලසුමක් හෙළිවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත නායක මොහොමඩ් සහරාන් සමඟ නුවරඑළියේ සහ හම්බන්තොට පුහුණු කඳවුරුවල පුහුණුවීම් ලැබූ, අම්පාර පොලිසිය මඟින් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත සාමාජිකයන් 18 දෙනා දෙවැනි ප්‍රහාරයකට දිවුරුම්දී ඊට සූදානම් වූ පිරිසක් බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි කර ගෙන ඇතැයි වාර්තා වේ.

ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් යන තහනම් ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරි සාමාජිකයන් වන මෙම පිරිසට “අබු” යන නාමයද මොහොමඩ් සහරාන් විසින් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.

මෙම ත්‍රස්ත ජාලය තුළ මොහොමඩ් සහරාන්ව හඳුන්වනු ලැබුවේද “අබු උබයිදා” යන නාමයෙන් බව පොලිසිය පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකිරීමට පෙර මොහොමඩ් සහරාන් ඇතුළුව එකී ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ත්‍රස්තයන් විසින් කළු පැහැති ඇඳුම් ඇඳ මුහුණු වසා ගෙන, තියුණු පිහියක් අතැතිව ත්‍රස්ත සංවිධානයට අයත් පසුබිම් තිරයක් භාවිත කර සකස් කරන ලද ස්ථානයක සිට සිය දිවුරුම ලබාදී තිබූ අතර, මෙම ත්‍රස්තයන් 18 දෙනාද එලෙස නුවරඑළිය කඳවුරේ මරාගෙන මැරෙන දිවුරුම දී ඇති බවද පොලිස් ආරංචි පවසයි.

මෙරට ප්‍රධාන ආගමික උත්සවයකට මෙන්ම එකම දිනක එකම වේලාවක පළාත් 9ටම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමටද මෙම ත්‍රස්ත කල්ලිය සැලසුම් කර තිබූ බවද වාර්තා වේ.

මරාගෙන මැරුණු ප්‍රහාරයෙන් මියගිය මොහොමඩ් සහරාන් සහ ඔහුගෙන් පසු දෙවැනි නායකත්වයට පත්වූ, එසේම දැනට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන නවුෆර් මව්ලවී යන අය විසින් මෙම ත්‍රස්ත සාමාජිකයන් 18 දෙනා පුහුණු කර ඇති බවටද තොරතුරු හෙළිව තිබේ.

Leave a Reply

Your email address will not be published.