ශ්‍රී ලංකා – සිම්බාබ්වේ සටන ජය පැරදුමෙන් තොරයි

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය අද(31) ජය පරාජයෙන් තොරව අවසන් විය.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ශ්‍රී ලංකාව ජයගත් අතර ඒ අනුව තරගාවලියේ ජය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවිය.
තරගයේ 5වැනි දිනය වූ අද සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 247ක් ලබා සිටියදී ඉනිම අත් හිටුවා ශ්‍රී ලංකාවට ලකුණු 361ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන්නේය.

ඒ අනුව තරගය නිම වන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 204ක් ලබා සිටියේය. කුසල් මෙන්ඩිස් නොදැවී ශතකයක් ලබා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 406ක් ලබාගත්තේය. එහිදී ශතකයක් රැස්කළ සීන් විලියම්ස් ලකුණු 107ක් ලබාගත් අතර සිකන්දර් රාසා හා බ්‍රෙන්ඩන් ටේලර් අර්ධ ශතක ලැබූහ. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක් හා ධනංජය සිල්වා කඩුලු 3ක් බිද හෙළූහ.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 293ක් පමණි. ඊට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 65කින් දායක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *