ශ්‍රී ලංකාව හා පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි හා අවසන් තරගය අද(19) පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන් විය. එහිදී දක්ෂතා දැක්වීමට දෙපිලේම පිතිකරුවෝ සමත් වූහ. ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන්ද, අබීඩ් අලී සහ බාබර් අසාම් පාකිස්තානය වෙනුවෙන්ද එහිදී ශතක ලබාගත්හ. පාකිස්තානය වේගපන්දු යවන්නන් සිවුදෙනෙක් සමග එම තරගයට සහභාගි වෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම ඊට එක් වූයේ වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ පිට දඟ පන්දු යවන්නකු සමගිනි.
පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ කසුන් රාජිතට පාදයේ මස් පිඬු ආබාධයවක් හේතුවෙන් දෙවැනි තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා සංචිතයේ සිටි ප්‍රධානතම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් වෙනුවට සංචිතයට ඇතුළත් වූ තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති අසිත ප්‍රනාන්දුට හෙට දිනයේදී ටෙස්ට් වරම් දිනාගැනීමට අවස්ථාවක් සැලසෙනු ඇතැයි වාර්තා වේ.
කෙසේ වුවත් පළමු තරගයට සහභාගි නොවූ දඟ පන්දු යවන්නන් වන ලක්ෂාන් සඳකැන් සහ ලසිත් ඇඹූල්දෙණිය සංචිතයේ සිටින බැවින් එම අවස්ථාව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් වාර්තා වී නැත.
කණ්ඩායමක් වශයෙන් තමන් බලාපොරොත්තු වනුයේ තරගය ජය ගනිමින් ඉදිරියට යාම බවත් ඒ නිසා දෙවැනි තරගයේදීත් පාකිස්තානයට හොඳ සටනක් දීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි. “ඒත් පාකිස්තානය කියන්නේ එයාලගෙ රට තුළදි ලේසියෙන් පරාජය කරන්න පුළුවන් කණ්ඩායම් නෙමෙයි කියන එකත් අපි හොඳින්ම දන්නවා.” යැයි එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිමුත් පැවසීය.
ටෙස්ට් ලෝක ශූරතාවලියේදී මේ දක්වා සහභගි වී ඇති තරග 3 න් තරගයක් ජයගෙන, තරගයක් පරාජයට පත්වී, සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 80 ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි. තරග 3 කට සහභාගි වී ඉන් තරග 2 ක් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වී සෙසු තරගය ජය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටින පාකිස්තානය ලකුණු 20 ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවෙයි.
Many thanks very practical. Will certainly share site with my good friends.|