ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ඉහළ නැංවීමට 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත නිල වශයෙන් ගැසට් කර ඇති අතර, එමගින් උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් වෙනස්කම් යෝජනා කර තිබේ.

සිකුරාදා (07) නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙස නියම කිරීමට යෝජනා කර තිබේ.

ප්‍රධාන විනිසුරුවරයා අවුරුදු 67 සම්පූර්ණ කළ විට හෝ එම ධුරයේ වසර හයක් සම්පූර්ණ කළ විට, එම අවස්ථා දෙකෙන් පළමුව සිදුවන අවස්ථාවේදී විශ්‍රාම ගත යුතු බවටද පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත.

මීට අමතරව, අභියාචනාධිකරණයේ උපරිම විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමටද යෝජනා කර තිබේ.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධනය’ ලෙස නම් කර ඇති මෙම පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියෝගය මත ගැසට් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *