විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන්වූ මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන්වූ මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය වන “ආයති ජාතික මධ්‍යස්ථානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (25) පෙරවරුවේ විවෘත කෙරිණ.

ආබාධිතභාවය ජාතික ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු (එනම් 20% ක්) කායික හෝ මානසික ආබාධයකින් පෙළෙන බව පර්යේෂණයන්ගෙන් අනාවරණය වී ඇත. කල්තබා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දීමෙන් ඔවුන් වඩාත් ඵලදායී ලෙස සමාජගත කල හැකිය. මෙයට විසඳුමක් සැපයීමට රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර එකඟතාවකින් ආයති ජාතික මධ්‍යස්ථානය ස්ථාපනය කෙරිණි. ඊට වැයකෙරුණු මුදල රු කෝටි 55කි. කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉඩමක් සහ වෛද්‍ය සේවාවන් ලබාදීමට ඉදිරිපත් විය.

හේමාස් හෝල්ඩින්ග්ස් සහ මාස් හෝල්ඩින්ග්ස් සමාගම් අරමුදල් සැපයීය. “රොෂාන් විජේරාම පවුල් පදනම” ද අරමුදල් දායකයෙකි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් වසරක් තුළ ඉදිකිරීම් නොමිළේ සිදු කෙරිණ. ශ්‍රවණ උපකරණ රොටරි සමාජයෙන් ලබා දී තිබේ.

සතියේ සෑම දිනකම නොමිළයේ සායන පැවැත්වෙන අතර, කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධිත ඉහළ සුදුසුකම් ලත් වෘත්තීය විශේෂඥයන්ගේ සේවය සැපයේ. කායික සහ මානසික ආබාධ සඳහා මූලික පරීක්ෂාවන් සිදුකිරීම කථන හා භාෂා චිකිත්සාවන්, ශ්‍රවණ ප්‍රතිකාර, භෞත චිකිත්සාවන්, පවුල් චිකිත්සාවන් සහ වෘත්තීය චිකිත්සාවන් ඇතුළු සේවාවන් රාශියක් මින් ආවරණය කෙරේ.

මෙරට ස්ථාපිත ප්‍රථම සංවේදක කාමරය ආයති මධ්‍යස්ථානය සතුය. නවීනතම ශ්‍රවණ ප්‍රතිකාර ඒකකයක්, පුහුණු මධ්‍යස්ථානයක් සහ පර්යේෂණ හා සංවර්ධන අංශයක් ඇතුළුව පහසුකම් රාශියක් ද මීට ඇතුළත් වේ. සේවාවන් නොමිලයේ සපයන බැවින් මෙහෙයුම් තිරසාරාත්මකව හා අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය අරමුදල් රැස් කිරිම ආයති භාරකාරත්වය මගින් සිදු කරමින් පවතියි.

සංස්කෘත භාෂාවෙන් “බලාපොරොත්තුව” යන වචනයෙන් උපුටා ගත් ආයති ආබාධිත දරුවන්ට පූර්ණ හැකියාවන් කරා ළගා වීමට උපකාර කිරිම අරමුණු කරගත් දිගුකාලීන තිරසාර ජාතික වැඩසටහනකි.

සමරු ඵලකය නිරාවරණය කර ‘ආයති ළමා සුරැකුම් මධ්‍යස්ථානය’ විවෘත කළ ජනාධිපතිතුමා එහි සියලු අංශ නිරීක්ෂණ කළේය. දරුවන්ගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කතා බහක නිරත විය.

ළමා සුරැකුම් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා දායකවුවන් සමග සමූහ ඡායාරෑපයකට ද පෙනී සිටියේය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ, වෛද්‍ය විද්‍යා පීඨාධිපති සහ ශ්‍රී ලංකා ‘ආයති’ භාරයේ සභාපති මහාචාර්ය නිලන්ති ද සිල්වා, ‘ආයති’ භාරයේ සාමාජික රොෂාන් මහානාම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *