වියළි කාලගුණයෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවීම ඇරඹේ: රුපියල් මිලියන 3,000ක සහන වැඩසටහනක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගාවන්ට සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම  ආරම්භ කළ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හානියට පත් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත වන්දි මුදල් සෘජුවම බැර කිරීම ආරම්භ කර තිබේ.

අනෙකුත් දිස්ත්‍රික්කවල හානියට පත් ගොවීන් සඳහා වන වන්දි ගෙවීම් සැප්තැම්බර් 15 වැනිදාට පෙර අවසන් කිරීමට නියමිත බව නිලධාරීන් සඳහන් කර ඇත.

මෙම සහන වැඩසටහන සඳහා රජය විසින් මේ වන විටත් රුපියල් මිලියන 3,000ක මුදලක් වෙන් කර තිබේ.

හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී, බඩඉරිඟු ඇතුළු විවිධ වගාවන්ට හානි සිදුවී ඇත.

ගොවීන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව නිලධාරීන් වගාබිම් වෙත ගොස් හානි තක්සේරු කර ඇති අතර, ඒ අනුව වන්දි ගෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

ගොවීන් 7,500කට ආසන්න පිරිසක් මෙම වගා හානි හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර, අක්කර 8,000කට ආසන්න වගාබිම් ප්‍රමාණයක් හානියට පත්ව ඇති බව සඳහන් වේ.

බඩඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා සහ මිරිස් ඇතුළු වගාවන් හයකට අදාළව හෙක්ටයාරයකට රුපියල් 100,000 බැගින් වන්දි ලබාදීමට නියමිතය. කෙසේ වෙතත්, එක් ගොවියෙකු සඳහා වන්දි ලබාදීමේදී උපරිම වශයෙන් අක්කර පහක වගා භූමි ප්‍රමාණයක් සලකා බලනු ඇත.

ගොවීන්ට ඉදිරි වගා කන්නයට පෙර සහන ලබාදීම සහතික කිරීම සඳහා වන්දි ගෙවීමේ කටයුතු කඩිනම් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *