විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ගැන ජාත්‍යන්තර විනිසුරු සංගමයෙන් දැඩි විරෝධයක්

ජාතික විනිසුරු සංගම් නියෝජනය කරන ලොව විශාලතම ජාත්‍යන්තර සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරු සංගමය (IAJ), ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ල පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් IAJ සඳහන් කර ඇත්තේ තම විරෝධය විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වෙනස් කිරීමේ සංකල්පයට නොවන බවයි. ඒ වෙනුවට, යෝජනාව ඉදිරිපත් කර ඇති අවස්ථාව, එය හඳුන්වා දී ඇති ආකාරය සහ එම නීති සංශෝධනයේ අරමුණ ලෙස පුළුල් ලෙස පවතින මතය සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව එම සංගමය සඳහන් කරයි.

අධිකරණයට බලපාන ව්‍යවස්ථා සංශෝධන “තාර්කික, මූලධර්ම මත පදනම් වූ, උපදේශනාත්මක සහ ශක්තිමත් ක්‍රියාපටිපාටියක්” ඔස්සේ ඉදිරිපත් කළ යුතු බව IAJ අවධාරණය කර තිබේ.

එවැනි සංශෝධනයක් අත්තනෝමතික සහ හදිසි තීරණයක් ලෙස හඳුන්වාදීමේ ක්‍රමවේදයක් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් වන බවද එම සංගමය අනතුරු අඟවා ඇත.

යෝජිත සංශෝධනය නිශ්චිත විනිසුරුවරුන් කිහිපදෙනෙකුට ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති බවට පුළුල් මතයක් පවතින බවද IAJ පෙන්වාදී තිබේ.

රජයේ සැබෑ අරමුණ කුමක් වුවද, එවැනි මතයක් පැවතීම පවා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය දුර්වල කරන බව එම සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සහ Commonwealth Lawyers Association විසින් මීට පෙර පළ කළ කනස්සල්ල සමඟ තම සංගමයද එකඟ වන බව IAJ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

යෝජිත නීති සංශෝධනය වර්තමාන ස්වරූපයෙන් යළි සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින IAJ, ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් සිදුවන ඉදිරි වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බවද ප්‍රකාශ කර ඇත.

1953 වසරේ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් නුවරදී ආරම්භ කරන ලද ජාත්‍යන්තර විනිසුරු සංගමය මහද්වීප පහක් නියෝජනය කරන ජාතික විනිසුරු සංගම් 93කින් සමන්විත වේ. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් හා මූලික නිදහස ආරක්ෂා කිරීම එහි ප්‍රධාන අරමුණු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *